එන්නත් ලබා දීම සති කීපයකින් - මෝදි
ඉන්දියාවේ ‘කොවිඩ්-19’ එන්නත් ලබාදීමේ වැඩසටහන ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (4) ප්‍රකාශ කළේය.
විශාල නිෂ්පාදන ධාරිතාව සහ මහා පරිමාණ එන්නත් වැඩසටහන් සම්බන්ධයෙන් ඉන්දියාවට ඇති අත්දැකීම් යන කරුණු දෙක හේතුවෙන් ආරක්ෂිත සහ දැරිය හැකි මිලකට ඉන්දියාව එන්නතක් නිෂ්පාදනය කරන තුරු ලෝකය බලා සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිබූ අතර එහිදි අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කැඳවා තිබූ මෙම සමුළුව විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
විද්‍යාඥයන්ගේ සහ විශේෂඥයන්ගේ අනුමැතිය ලැබුණු විගස එන්නත් වැඩසටහන ආරම්භ කරන බවත් ඉදිරි සති කිහිපය ඇතුළත එම අනුමැතිය ලැබෙනු ඇති බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි කීය.
මේ වනවිට එන්නත් අටකට ආසන්න සංඛ්‍යාවක් අවසන් අදියරේ පරීක්ෂණ හා අත්හදා බැලීම් කරන අතර ඒ සමාගම් සියල්ලම සිය එන්නත් ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීමට කැමැත්ත පළ කර ඇත.
ඊට අමතරව ඉන්දියාව ද මේ වනවිට ඔවුන්ගේ ම එන්නත් තුනක් අත්හදා බලමින් හා සංවර්ධනය කරමින් සිටින අතර භාරත් බයෝටෙක් සමාගම අත්හදා බලන එන්නත එහි තෙවැනි අදියරේ අත්හදා බැලීම් ආරම්භ කර ඇතැයි මේ සතිය මැදදි නිවේදනය කළේය.
සෞඛ්‍ය සේවකයන්ට, දරුණු රෝග තත්ත්වවලින් පෙළෙන අයට සහ වැඩිහිටියන්ට මුලින්ම එන්නත් ලබාදෙන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදි කීය.
‘කොවිඩ්-19’ එන්නත්වල මිල නියම කිරීමේ දී මහජන සෞඛ්‍යට ප්‍රමුඛත්වය දෙන බවත් සෑම ඉන්දියානුවකු ම ආරක්ෂා කිරීම සඳහා සෑම දේශපාලන පක්ෂයක්ම පියවර ගත යුතු යැයි ද හෙතෙම පැවැසීය.
‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ඇසුරිනි