එන්නත කාටවත් බලෙන් දෙන්න එපා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති කිසිදු එන්නත් කිසිවකුට බලහත්කාරයෙන් ලබා නොදෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වනවිට ඇමෙරිකාවේ ඖෂධ නිෂ්පාදන සමාගම් දෙකක්, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, රුසියාව සහ චීනය එක් වී එන්නත් නිපදවා ඇති අතර, රටවල් බොහොමයක් ඒවා තම වැසියන්ට ලබා දීමට තීරණය කර තිබේ.

ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම් එක් වී නිපදවා ඇති එන්නත, බ්‍රිතාන්‍ය රජය විසින් මිලදී ගනු ලැබ ඇති අතර එය එරට වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.

කෙසේ නමුත් මෙම කිසිදු එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් හිමිවී නැත. ඒ, එම කිසිදු එන්නතක් තවම සායනික අත්හදා බැලීම් සියයට සියයක් සම්පූර්ණ කර නොමැති බැවිනි. එන්නත් ලබා දීම කඩිනමින් සිදු කිරීමට විවිධ රටවල් ඔවුන්ගේ අභිමතය පරිදි අනුමැතිය දී ඇත්තේ, වයිරස වසංගතය හදිසි තත්ත්වයක් සේ සැලකිල්ලට ගනිමිනි.

‘සායනික පර්යේෂණ සියයට සියයක් සම්පූර්ණ නොකළත්, විශ්වාසය තැබිය හැකි එන්නත් නිපදවා තිබෙනවා. ඒක වයිරසයට එරෙහිව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. එන්නත් ලබා දීම නොමිලේ සහ මුදල් ලබාගෙන සිදු කෙරනවා. ඒත් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත කාටවත් බලෙන් දෙන්න එපා. එය අප ලොව සෑම රටකින්ම කරන ඉල්ලීමක්. එන්නත බලෙන් ජනතාවට විකුණන්න හදන්න එපා. එන්නත ලබා ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම පුද්ගලගයකුට ඇති අයිතියක්. ඊට අප කවුරුත් ගරු කළ යුතුයි. වයිරසයේ ඇති අවදානම අවබෝධ කර ගන්නා අයට එන්නත ලබා දෙන්න. නැතිනම් ඔවුන් කැමැත්තෙන් එය ලබා ගනීවි.’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ අංශය බාර වෛද්‍ය කේට් ඕ බ්‍රයන් පවසා ඇත.

ජිනීවාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS