එන්නත ඇමෙරිකානුවන්ට නොමිලේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනයට, ඇමෙරිකාව නිපදවන එන්නත, සෑම ඇමෙරිකානුවකුටම නොමිලේ ලබා දෙනවා යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත.

සෞඛ්‍ය අමත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පෝල් මැන්ගෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, ඇමෙරිකන් රජය, ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක මුදල් වැය කර ඇමෙරිකාව තුළත් ඉන් පිටතත් එන්නත් නිපදවීමට යොමු වී සිටින බවය.

එසේ නිපදවන එන්නත සාර්ථක බව සහ ආරක්ෂිත බව තහවුරු කළ සැණින් ඇමෙරිකානුවන්ට ලබා දීමට වහා කටයුතු කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උපදෙස් දී ඇති බව ද පෝල් මැන්ගෝ වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

රුසියානු විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලැබූ, ‘ස්පුට්නික් 5’ යනුවෙන් නම් කළ කොරෝනා මර්දන එන්නත තව සති දෙකකින් රුසියානුවන්ට ලබා දෙන බව රුසියානු ජනාධිපති පැවැසුවේ මීට  දින කීපයකට පෙරය. කෙසේ නමුත් එම එන්නත නිසි සායනික පර්යේෂණවලට යොදාගෙන නොමැති බවට ඇමෙරිකාවෙන් චෝදනා එල්ල වී තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS