එක්වදෝරයේ ජනපති ධුර අපේක්ෂකයා ඝාතනය කෙරේ



ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ, විපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ෆර්ඩිනැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කෙරුණි. විලාවිසෙන්සියෝ, වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ක්විටෝ අගනුවර, මැතිවරණ රැලියක් අතරතුරේය.

වෙඩි තැබීම කළ පුද්ගලයා කොටු කර ගැනීමට පොලිසිය පසුව සමත් වූ අතර, එහිදී පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම තැනැත්තා ද ජීවිතක්ෂයට පත්විය.

වෙඩි ප්‍රහාරයට ලක් වුණු 59 හැවිරිදි ෆර්ඩිනැන්ඩෝ කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළත්, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේ යැයි පැවැසෙයි.

ෆර්ඩිනැන්ඩෝ විලාවිසෙන්සියෝ ඝාතනය සම්බන්ධයෙන් කම්පා වෙමින්, එක්වදෝර් ජනාධිපති ගුලියේර්මෝ ලාසෝ, ට්විටර් ගිණුම ඔස්සේ පවසා ඇත්තේ එය සහාසික අපරාධයක් බවත්, ඝාතකයන් සොයා දැඩි දඬුවම් ලබා දීමට පියවර ගන්නා බවත්ය. ට්විටර් සමාජ මාධ්‍ය ජාලය දැන් හඳුන්වන්නේ ‘එක්ස්’ යන නමිනි.

ගුලියේර්මෝ ලාසෝ, එක්වදෝරයේ ජනාධිපති ධුරය හොබවන්නේ 2021 වසරේ සිටය. විලාවිසෙන්සියෝට වෙඩි තැබීම සම්බන්ධයෙන්, ජනාධිපති ලාසෝ, ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවී විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.


RECOMMEND POSTS