ඉම්රාන් ඛාන් වයිරස පරීක්ෂණයට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතිදැයි සොයා බැලීමේ පරීක්ෂණයට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් යොමු කළ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ (22) නිවේදනය කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ වයිරසය පරීක්ෂණයට යොමු කිරීමට තීරණය කර ඇත්තේ, පසුගිය දා ඔහු හමුවීමට පැමිණි මානව ක්‍රියාකාරියකු වන ෆයිසාල් එද්හී කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීම නිසා යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ පෞද්ගලික වෛද්‍ය ෆයිසාල් සුල්තාන් පවසා ඇත.

මේ අතර, අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් පෙරේදා (21) වයිරසය පරීක්ෂණයට යොමු කළ අතර ඔවුන් කිසිවකුටවත් කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වුණු බවත් පාකිස්තාන අග්‍රාමාතණ කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් පකිස්තානයේ මරණ 200 පසු කර තිබේ. ආසාදිතයන් ගණන 10,000 ට ආසන්නය. ගතවුණු පැය 24 ඇතුළත සිදුවුණු මරණ සංඛ්‍යාව 17 කි. ගතවුණු පැය 24 ඇතුළත හමුවුණු ආසාදිතයන් සංඛ්‍යාව 533 කි.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS