ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුම් ඉහළට



ඉන්දියාවේ උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇවිළෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ගැටුම් හේතුවෙන් පස් දෙනකු මියගිය බවත්, 45 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත්ය.

ගැටුම් ආරම්භ වූයේ හින්දු ආගමික පෙරහරක්, හර්යානා ප්‍රාන්තයේ නුහ් දිස්ත්‍රික්කයේ මුස්ලිම් වැසියන් බහුල ප්‍රදේශයක් හරහා ගමන් කරද්දීය. හින්දු පෙරහරට මුස්ලිම්වරුන්ගෙන් විරෝධය එල්ල වූ අතර එම අවස්ථාවේදී ගැටුම් හටගත්තේය.

ගැටුම් පාලනයට පොලිසිය යෙදවිණි. කෙසේ නමුත් වාහන ගිනි තබමින්, නිවාස සහ කඩසාප්පුවලට පහර දී ගිනි තැබීම් කළ කලහකාරීන් පාලනය කිරීමට පොලිසිය සමත් වූයේ නැත. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද සිටින බව පැවැසෙයි.

ගැටුම් හටගත් නුහ් දිස්ත්‍රික්කය ඇත්තේ නවදිල්ලි අගනුවර සිට කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. දිල්ලි ප්‍රාන්ත බලධාරීන් බිය පළ කර ඇත්තේ නුහ් දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා දිල්ලියටත් ව්‍යාප්තවීමට ඉඩ ඇති බවය.


RECOMMEND POSTS