ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්



‘ජී7’ සමුළුව පැවැත්වෙද්දී, ඉතාලි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ගැටිබැට හුවමාරුව නිමා වෙද්දී, එක් විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවෙන් පිටවී ගියේ වෛද්‍ය ආධාරකරුවන්ගේ ද සහාය ඇතිව රෝද පුටුවක ආධාරයෙනි.

ඉතාලියේ පළාත් සඳහා වැඩි බලතල ලබා දීමට යෝජනා කරමින්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් විවාදයට ගත් අවස්ථාවේදී එය උණුසුම් වී, ගුටිබැට හුවමාරුව තෙක් දුර දිග ගියේය.

විවාදය උණුසුම් වීමත් සමඟ ෆයිව් ස්ටාර් මුව්මන්ට් පක්ෂයේ ලියනාඩෝ ඩොනෝ දක්ෂිණාංශික ලීග් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය රොබර්ටෝ කැල්ඩෙරෝලි වෙත ගොස් ඔහුගේ මුහුණට ඉතාලි කොඩිය එල්ල කිරීමත් සමඟ මෙම ගුටිබැට හුවමාරුව ආරම්භ වී ඇතැයි එරට මාධ්‍ය පවසයි.

දෙදෙනා අතර ගැටුම සමථයකට පත් කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් උත්සාහ දරා ඇතත්, ඔවුන් අපොහොසත් වී ඇතැයි ඉතාලි මාධ්‍ය පැහැදිලි කර තිබේ.

 (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS