ඇෆ්ගන් තලේබාන් රජයේ නව අගමැති අබ්දුල් කබීර්



ඇෆ්ගන් තලේබාන් රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මෞලවි අබ්දුල් කබීර් පත් කිරීමට තලේබාන්වරුන් පියවර ගෙන තිබේ.

තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර හිතවාදී රජය පෙරළා බලය අල්ලා ගනිමින් ඔවුන්ගේම රජයක් පිහිටුවා ගත්තේ 2021 වසරේ අගෝස්තුවේය. ඒ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පියවී ගිය සැණින්ය.

2020 වසරේ දී තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකානු රජයේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්විණි. ඒ, ඇමෙරිකන් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ අනාගතය සම්බන්ධයෙනි.

සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ දෝහා නුවර තලේබාන් සාම කාර්යාලය හරහාය. එම සාකච්ඡා සඳහා වැදගත් කාර්යයක් ඉටු කළ අයකු ලෙස 60 හැවිරිදි මෞලවි අබ්දුල් කබීර් සැලකිය හැකිය. ඒ අනුව, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සමඟ යහපත් සබඳතා ඇති අයකු ලෙස ද මෞලවි අබ්දුල් කබීර් සැලකෙයි.

ඇමෙරිකාව 2001 වසරේ දී ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළ අවස්ථාවේදී එදා පැවැති තලේබාන් රජයේ වැඩ බලන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ද මෞලවි අබ්දුල් කබීර් ය. 2001 වසරේ ඇමෙරිකන් ආක්‍රමණයයෙන් පසු ඇමෙරිකන් රජය අබ්දුල් කබීර්ට සම්බාධක පැනැවීමක් ද කර තිබුණි.

(රොයිටර්)


RECOMMEND POSTS