ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්ත නායකයා ඝාතනය කෙරේ



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට, 2021 වසරේ අගෝස්තු 26 වැනිදා එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සැලැසුම් කළ අයි.එස්. නායකයා ඝාතනය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ඇමෙරිකන් හමුදා තාල්බාන්වරුන්ට ඉඩ දී, ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් නිමා කරමින් පිටවී ගියේ 2021 අගෝස්තු 26 වැනිදාය. එදා කාබුල් අගනුවර ගුවන්තොටුපොළ තලේබාන්වරුන්ගෙන් බේරී පලා යන ඇෆ්ගන් සිවිල් වැසියන්ගෙන් පිරී තිබුණි.

ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට, මෙම වැසියන්ට ඇමෙරිකන් සහ බි්‍රතාන්‍ය හමුදාවේ සහාය හිමිවිය. ගුවන්තොටුපොළට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්, ඇමෙරිකන් සෙබළුන් සහ සිවිල් වැසියන් ද ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක අයි.එස්. ත්‍රස්තවාදීන් හැඳින්වෙන්නේ ‘අයි.එස්.අයි.එස්. කේ’ යනුවෙනි. ඒ, ඇෆ්ගන් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ආරම්භය සිදුවූයේ කොරසෝන් පළාතෙන් වීම නිසාය.

‘අයි.එස්.අයි.එස්. කේ’ ත්‍රස්තවාදීහු තලේබාන් පාලනයට විරෝධය දක්වති. ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු පසුගිය මාස කීපයේ ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළේ මෙම ‘අයි.එස්.අයි.එස්. කේ’ ත්‍රස්තවාදීන්ය.

(රොයිටර්)


RECOMMEND POSTS