ඇමෙරිකාවෙන් ඉන්දීයාවට චෝදනා



ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සීක් ජාතිකයකු ඝාතනය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය උත්සාහ ගත් බවට ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා නගයි.

එල්ල වන චෝදනා ඉන්දීය රජය තරයේ ප්‍රතික්ෂේප කර ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට එකඟත්වය පළ කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය රජයට චෝදනා එල්ල වී ඇත්තේ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, ඇමෙරිකන් පුරවැසියකු ද වන සීක් ජාතික තරුණයකු ඝාතනය කිරීම උත්සාහ ගත් බවටය. මෙම තරුණයා සීක් බෙදුම්වාදී කණ්ඩායමකට අයත් සාමාජිකයෙකි. ඉන්දියාවට අනුව, ඔහු කලිස්තානී සීක් බෙදුම්වාදී ත්‍රස්තවාදියෙකි.

එම තරුණයා ඝාතනය කිරීමට තැත් කළ බව පැවැසෙන්නේ නිකිල් ගුප්තා නමැත්තාය. මොහු ඉන්දීය රජයේ ඒජන්තවරයකු යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ පවසයි. ඝාතන තැත ව්‍යර්ථ වී ඇත්තේ ඇමෙරිකන් ආරක්ෂක අංශ මැදිහත් වීමෙනි.

ඉන්දියාව සමඟ යහපත් සබඳතා පවත්වාගෙන යන අතරතුරේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කටයුතු පිළිබඳ ප්‍රකාශක ජෝන් කර්බි පවසා තිබේ.

“ඉන්දියාව සමඟ ඇමෙරිකාවට ඇත්තේ, උපාය මාර්ගික මිත්‍රත්වයක්. එම මිත්‍රත්වය පළුදු කර ගැනීමේ කිසිදු අදහසක් ඇත්තේ නැහැ. ඒත් එල්ල වන චෝදනා බරපතලයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු වෙනවා” යැයි ජෝන් කර්බි පැහැදිලි කර තිබේ

කලිස්තානී ත්‍රස්තවාදීන් යනු සීක්වරුන් වෙනුවෙන් ඉන්දියාවේ වෙනම රාජ්‍යයක් ඉල්ලන සීක් බෙදුම්වාදීන් පිරිසකි. ඉන්දියාව සහ කැනඩාව අතරේ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වූයේ ද කැනඩාවේ සීක් ජාතිකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කොට ගනිමිනි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS