ඇමෙරිකානුවන් මරන්න සල්ලි දීලා



ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවන් ඝාතනය කිරීමට, රුසියානු හමුදා බුද්ධි ඒකකයක්, ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන්ට මුදල් දුන්නැයි ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත මෙම අනාවරණය කර ඇත්තේ ඇමෙරිකන් බුද්ධි අංශ වාර්තාවක් උපුටා දක්වමිණි. ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා තලේබාන් පාලනය පෙරළා දමා, ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 වසරේදීය.

ඒ, එම වසරේ සැප්තැම්බර් 11 වෙනිදා, ඇමෙරිකාවට පහර දුන් අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ තලේබාන් රැකවරණය යටතේ සැගවී සිටීම නිසාය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරන අන්දමට, රුසියන් බුද්ධි ඒකකය තලේබාන් ත්‍රස්තවාදීන්ට මුදල් දී ඇත්තේ ඇමෙරිකන් සොල්දාදුවන් පමණක් නොව, නේටෝ හමුදාවට අයත් සෙසු බටහිර රටවල සොල්දුදාවන් ද ඝාතනය කිරීමටය.

රුසියන් හමුදා බුද්ධි එ්කකය මෙම මුදල් ලබා දීම කර ඇත්තේ පසුගිය වසරේය. ඒ අනුව, පසුගිය වසරේ ඇමෙරිකන් සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින් තලේබාන් ප්‍රහාර දරුණු වූ බව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.

එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින්, තමන් කිසිම අවස්ථාවක තලේබාන් සංවිධානයට හෝ වෙනත් කිසිදු සන්නද්ධ සංවිධානයකට හෝ මුදල් ගෙවීමක් සිදු කර නැති බව රුසියාව තරයේ පවසා ඇත. තලේබාන් සංවිධානය ද පවසා ඇත්තේ රුසියානු බුද්ධි අංශ ඒකකයකින් තම සාමාජිකයන්ට මුදල් හිමි නොවුණු බවය.

මේ අතර ධවල මන්දිරය අද (28) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකන් බුද්ධි අංශ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කර නොමැති බවය.‍

‍වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS