ඇමෙරිකා පාසලක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ උසස් පාසලක ඊයේ (1) සිදුවුණු වෙඩි තැබිමකින් සිසුන් සිවුදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, අට දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ අට දෙනාගෙන් 7 දෙනකු සිසු සිසුවියන් වන අතර එක් ගුරුවරයකු ද සිටී.

වෙඩි තැබීම සිදුවූයේ මිචිගන් ප්‍රාන්තයේ ඔක්ස්ෆර්ඩ් නගරයේ උසස් පාසලකය. වෙඩි තැබීම සිදු කළේ පහළොස් හැවිරිදි සිසුවෙකි.
වෙඩි තැබීම සඳහා සිසුවා භාවිත කර ඇත්තේ ඔහුගේ පියා පසුගිය සිකුරාදා දිනයේ මිලදී ගෙන තිබූ අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලය යැයි පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාවේ වේලාවෙන් 12.51 ට පමණය. වෙඩි තැබීම සිදුවෙද්දී, පාසලේ සිසු සිසුවියන් බොහෝ දෙනකු ඩෙස් පුටු යටට රිංගා සැගවුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

වෙඩි තැබීම සිදුවෙද්දී පාසලේ සිට 911 හදිසි ඇමතුම් අංකයට ඇමැතුම් 100 කට වැඩි ගණනක් ලැබුණි. කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පාසලට ගොස් පිස්තෝලය අතැතිව සිටි සිසුවා වට කළ අවස්ථාවේදී ඔහු පොලිසියට යටත් විය.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, පොලිසිය කඩිනමින් විමර්ශන ආරම්භ කර තිබේ.

වෙඩි ප්‍රාහරයෙන් මියගිය ටේට් මයර් පාසල් පා පන්දු (රග්බි) කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයෙකි. ඔහු සැමගේ දිනූ සිසුවකු බව ද පැවැසෙයි. පාසලේ සිසුන් මෙන්ම ගුරුවරුන් ද පාසල් පරිපාලක මණ්ඩලයට අන්තර් ජාලය හරහා ඉල්ලීමක් කර ඇත්තේ පාසලේ ක්‍රීඩාපිටිය ටේට් මයර්ගේ නමින් නම් කරන ලෙසය.

පාසලේ වෙඩි තැබිමේ සිද්ධිය අසන්න ලැබීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS