ඇමෙරිකන් පාර්ලිමේන්තුවටත් කොරෝනා රිංගයි



ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල නියෝජිතවරයකුට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. ඇමෙරිකන් පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ‘කොංග්‍රසය’ යනුවෙනි.

වයිරසය ආසාදනය වී ඇත්තේ ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරන රිපබ්ලිකන් පාක්ෂික මාරියෝ දියේස් බල්රාත් ය. ඒ අනුව, වෛද්‍යවරුන්, පසුගිය දිනවල මාරියෝ දියේස් බල්රාත් සමඟ එක්ව කටයුතු කළ කොංග්‍රස් සභිකයන්ට උපදෙස් දී ඇත්තේ දින 14 ක කාලයක් සඳහා ස්වයං නිරෝධායනයනට යොමු වන ලෙසය.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩල සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වූ පළමු අවස්ථාව මෙයයි. මාරියෝ දියේස් බල්රාත් මියාමි නගරය නියේජනය කරන කොංග්‍රස් මණ්ඩල සමාජිකයෙකි. ෆ්ලොරීඩා ජනපදයේ මියාමි නගරයේ පුරපති ෆැන්සිස් සුවරේස් ට ද වයිරසය ආසාදනය වී ඇතැයි ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

මාරියෝ දියේස් බල්රාත් පදිංචි වී සිටින්නේ වොෂින්ටන් අගනුවර නවාතැනකය. තමන් තම නවාතැනේ නිරෝධායනයට ලක්වුණු බවත් වෛද්‍යවරුන් ලබා දුන් උපදෙස් නිවැරදිව පිළිපඳින බවත් මාරියෝ දියේස් බල්රාත් පවසා ඇත.

ඊයේ (18) වනවිට ඇමෙරිකාවේ ‘කෝවිඞ් 19’ ආසාදිතයන් සංඛ්‍යාව 9,249 ක් බව වාර්තා විය. වයිරසය හේතුවෙන් මරණ 150 ක් වර්තා විය. මේ අතර වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 106 ක් යැයි පැවැසිණි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS