ඇමෙරිකන් ජනාධිපති ඉන්දියාවට



‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර බලා පැමිණීමට නියමිතව සිටි.

‘ජී20’ සමුළුවට දින දෙකකට පෙර බයිඩන් ඉන්දියාවට පැමිණෙන බවත්, සමුළුවට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ධවල මන්දිරය පවසා තිබුණි.

‘ජී20’ සමුළුවට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල නායකයන් මෙන්ම යුරෝපා සංගමයේ ප්‍රධානීහු ද සහභාගී වෙති. ‘ජී20’ සමුළුවේදී, ගෝලීය ආර්ථික කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයෝ රැස්වී සාකච්ඡා පවත්වති. මෙවර සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පින් හෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ සහභාගී වන්නේ නැත.

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් නවදිල්ලිය බලා පැමිණෙද්දී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැමිණියේය. ඒ, ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ ආරාධනාවකට අනුව, එරට පැවැත්වෙන ‘ආසියාන්’ සමුළුවට සහභාගී වීම සඳහාය.

‘ආසියාන්’ සමුළුවට සහභාගී වන්නේ අග්නිදිග ආසියානු රටවල රාජ්‍ය නායකයන්ය. සෙසු රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පවත්වමින්, ලෝකය යහපත් තැනක් කිරීමට තමන් උත්සාහ ගන්නා බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබුණි.


RECOMMEND POSTS