ඇමෙරිකන් එන්නත ගන්න හදිස්සි වෙන්න එපා
ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ජර්මනියේ ‘බයෝඇන්ටෙක්’ ඖෂධ සමාගම් එක් වී නිපදවූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නත, බ්‍රිතාන්‍ය වැසියන්ට ලබා දීමට, බ්‍රිතාන්‍ය රජයේ අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන්, යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය සිය කනස්සල්ල පළ කර තිබේ.
යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දී ඇත්තේ, ‘කොවිඞ් 19’ වයිරසය වළැක්වීමට නිපදවා ඇති ‘ෆයිසර්’ සහ ‘බයෝඇන්ටෙක්’ එන්නත සම්බන්ධයෙන් අනුමැතිය ලබා දීමට බි්රතාන්යය ඉක්මන් වූවා වැඩි බවය.
‘ෆයිසර් බයෝඇන්ටෙක් එන්නත සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකියි. ඒත් මෙම එන්නතට හෝ වෙනත් එන්නතකට හෝ තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවෙලා නැහැ. සියයට 90 කට වඩා සාර්ථක බවත් අතුරු ආබාධ හා සංකූලතා නොමැති බවත් පැවැසෙන බව ඇත්ත. එසේ වුවත් එන්නත සම්බන්ධයෙන් අවසන් අදියරේ අවසන් සායනික ප්රතිඵලවල අනුමැතිය තවමත් ලැබී නැහැ.’ යැයි යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරියට යුරෝපා සාමාජික රටවල සෞඛ්‍ය අමත්‍යාංශ, වෛද්‍ය විශේෂඥයන් සහ වෛද්‍ය පර්යේෂකයන් එක් වී සිටින අතර, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන්, සාර්ථක එන්නතක් නිපදවීමෙන් පසු එය යුරෝපා රටවලට බෙදා දීම සිදු කරන්නේ යුරෝපා සංගමයේ ඖෂධ නියාමන අධිකාරිය හරහාය. ‘බ්‍රික්සිට්’ ගිවිසුමට අනුව, මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වී සිටී.
ලන්ඩනයේදීය (රොයිටර්)