ආතරයිටිස් ඔසුවක් කොරෝනා රෝගීන්ට



මරණ මංචකයේ සිටින ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස රෝගීන්ට ස්විට්සර්ලන්තයේ ‘රෝච් හෝල්ඩිං’ ඖෂධ නිෂ්පාදන සමාගම ආතරයිටිස් රෝගීන් සඳහා සැකසූ ‘ටොසිලිසුම්බාඞ්’ ඖෂධය ලබා දීමට චීන වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

‘ටොසිලිසුම්බාඞ්’ ඖෂධය ලබා දෙන්නේ නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහූවලට දැඩි හානිවූවන් බේරා ගැනීමේ අරමුණින් ය. ‘ටොසිලිසුම්බාඞ්’ ඖෂධය කොරෝනා වයිරස රෝගීන් වෙනුවෙන් සුදුසු යැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම විසින් නිර්දේශ කරනු ලැබ නැතැයි ද පැවැසෙයි.

මීට අමතරව, ඒඞ්ස් ආසාදිතයන්ට ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ලබා දෙන ඖෂධ වර්ග ද කොරෝනා ආසාදිතයන්ට ලබා දෙන බව චීන වෛද්‍යවරු පවසති.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ව්‍යාප්තවීම ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ මෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ඇන්ටාක්ටිකා මහද්වීපය හැර, සෙසු සෑම මහද්වීපයක් පුරාම පැතිර ගොස් අවසන්ය.  ‘කෝවිඞ් 19’ පැතිර ගොස් ඇති රටවල් ගණන 80 කට ආසන්නය. වයිරස ආසාදිතයන් ගණන 10,000 පසු කිරීමට නියමිත යැයි පැවැසෙයි. මියගිය ගණන 3,500 ඉක්මවා තිබේ.

ආසාදිතයන් 10,000 ක් වාර්තා වෙද්දී, ආසාදිතයන් 50,600 කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි ද වාර්තා වෙයි. ‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් වැඩිම මරණ වාර්තා වී ඇත්තේත්, වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේත් චීනයෙනි.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS