අලුත් විදියේ කොරෝනා එන්නත් බූස්ටරයක්
ඉන්හේලරයක් භාවිතයෙන් ආශ්වාසය හරහා සිරුරට ඇතුළු කෙරෙන ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නතක් චීනයේ ‘කැන්-සිනෝ’ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් නිපදවනු ලැබ ඇති අතර, එය බූස්ටර් හෙවත් ප්රවර්ධක එන්නතක් ලෙස භාවිතයට ගැනීමට චීන සෞඛ්‍ය බලධාරීහු සූදානම් වෙති.
චීන සෞඛ්‍ය බලධාරීන්,‘කැන්-සිනෝ’ එන්නත බූස්ටර් එන්නතක් ලෙස භාවිතයට ගැනීමට සූදානම් වන්නේ, එන්නත සඳහා එරට ජාතික වෛද්‍ය පරිපාලන සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසුවය.
‘කොවිඩ් 19’ කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවුයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. ඒ, 2019 වසර අවසානයේදීය. 2020 වසර මැද වනවිට එය මුලු ලෝකය පුරාම ව්‍යාප්ත වීමට පටන් ගැණුනි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය හේතුවෙන් චීනයෙන් ද ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කෙරේ.
චීනය ‘කොවිඩ්’ වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නේ නගර සහ පළාත් පිටින් ලොක්ඩවුන් කර, ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කරමිනි. පසුගිය සැප්තැම්බර් 3 වැනිදා පමණක් චීනයෙන් වාර්තා වූ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,848 කි.
(රොයිටර්)