අන්තවාදී කල්ලි සාමාජිකයන් සොයා මෙහෙයුම්



ජර්මන් පාර්ලිමේන්තුවට කඩා වැදී, රජය පෙරළා බලය අල්ලා ගැනීමට තැත් කළ නියෝ නාසිවාදී ‘රයික්බර්ග්’ කල්ලියේ තවත් සාමාජිකයන් 27 දෙනකු සොයා රට පුරා මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසයි.

‘රයික්බර්ග්’ කල්ලි සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ජර්මන් පොලිසිය එරට ප්‍රාන්ත 16 න් 11 ක වැටලීම් සිදු කළේ ඊයේ (7) ය. එම අවස්ථාවේදී ‘රයික්බර්ග්’ කල්ලි සාමාජිකයන් 25 දෙනකු අත්අඩංගුවට ගැණුනි.

පාර්ලිමේන්තුවට කඩා වැදී රජය පෙරළා රටේ බලය අත්පත් කර ගැනීමට කුමන්ත්‍රණය මෙහෙයවූයේ ‘රයික්බර්ග්’ නායක 71 ක් හැවිරිදි හෙන්රික් නමැත්තාය. මොහු ජර්මානු රජ පෙළපතකින් පැවැත එන අයකු බව ද පැවැසෙයි. ‘රයික්බර්ග්’ මොහු හඳුන්වන්නේ 13 වැනි හෙන්රික් කුමරු යනුවෙනි.

අත් අඩංගුවට ගත් සාමාජිකයන් 25 දෙනාගෙන් 22 දෙදෙනෙකු කැරැල්ල සැලසුම් කළ අය බවත් 3 දෙනෙකු අනුබල දුන් අය බවත් ජර්මානු පොලිසිය ප්‍රකාශ කර තිබේ. ඔවුන් අතර හමුදා සාමාජිකයන් ද සිටින බව පොලිසිය පවසා ඇත.
‘රයික්බර්ග්’ කල්ලිය සාමාජිකයන් 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් බවත්, තවත් සැකකරුවන් 27 දෙනෙකු සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් ජර්මානු පොලිසිය පැවැසීය.

දහතුන්වෙනි හෙන්රික් ජර්මනියේ 12 වෙනි සියවසේදී ආරම්භ වූ රෝස් රජ පෙළපතෙන් පැමිණෙන්නෙකු බව පැවැසෙයි.

රෝස් පෙළපතේ පාලනය 1918 ජර්මානු විප්ලවය තෙක් වසර සිය ගණනක් දිව යයි. 1951 වසරේ දෙසැම්බර් 4 වැනිදා උපන් මොහු ෆ්‍රෑන්ක්ෆර්ට් හි දේපළ වෙළඳාම්කරුවෙකි. සූසන් ජලාලි නම් ඉරාන ජාතික කාන්තාවක සමග මොහු විවාහ වී සිටී.

විවාහයෙන් පසු සූසන් රෝස් කුමරිය ලෙස ඇයව හඳුන්වන බව ද ජර්මන් මාධ්‍ය පවසා ඇත. දහතුන්වෙනි හෙන්රික් සහ සූසන් ට පුත්‍රයකු සිටින බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS