ෆ්‍රැන්සිස් පාප්තුමා කැනඩාවේ



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කැනඩාවේ සංචාරයකට පැමිණියේය‍. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගැනීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රමුඛ කැනඩා රජය කටයුතු කළේය. වතිකානය පෙන්වා දෙන ආකාරයට ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ මෙම කැනඩා සංචාරය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වනු ඇත.

අතීතයේ, කැනඩාවේ ස්වදේශිකයන්ට, කතෝලික පල්ලියෙන් සිදුවුණු කෙණෙහිලිකම් සම්බන්ධයෙන් දැඩි කනගාටුව මෙන්ම කනස්සල්ල ද පළ කරමින්, ඒ ගැන සමාව ඉල්ලීමේ අරමුණින් පාප්තුමන් මෙම කැනඩා සංචාරයට එක් වී සිටී.

යුරෝපා වැසියන්, කැනඩාවේ ජනාවාස පිහිටුවා ගනිමින්, කැනඩාවේ ඉන්දියානු ගෝත්‍රික ස්වදේශිකයන්ගේ දරුවන්, කැනඩා යුරෝපා සංස්කෘතියට බලහත්කාරයෙන් යොමු කිරීමට පියවර ගත් අතර, එය සිදුවූයේ කතෝලික පල්ලියේ අනුදැනුම සහ අධීක්ෂණය යටතේය.

කැනඩා ෆෙඩරල් රජය නේවාසික පාසල් 139 ක් පවත්වාගෙනගිය අතර ඒවායින් සියයට 60 ක් කතෝලික පල්ලිය විසින් පාලනය කරනු ලැබුණි. 1800 දශකය අවසානයේ සිට 1997 වසර තෙක් මෙම පාසල් ක්‍රියාත්මක විය.

එම කාලයේ ස්වදේශික ඉන්දියානු දරුවන් 150,000 කට වැඩි පිරිසකට බලහත්කාරයෙන් අධාපානය ලබා දීමක් සිදුවුණු බවට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් පාප්තුමන් පසුගිය කාලය පුරාවට සිය කනස්සල්ල පළ කර තිබුණි.

ඒ අනුව, කැනඩා සංචාරයේ දී ස්වදේශික ප්‍රජාව ආමන්ත්‍රණය කරමින්, අතීත සිදුවීම් සම්බන්ධයෙන් පාප්තුමන් සමාව ඉල්ලීමට නියමිතය. එහෙයින්, පාප්තුමන්ගේ මෙම කැනඩා සංචාරය ඓතිහාසික එකක් වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

85 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කැනඩා සංචාරයේ දී, කැනඩා ස්වදේශිකයන් බහුලව වාසය කරන ඇල්බර්ටා, ක්විබෙක්, සහ උතුරු දෙසින් පිහිටි නුනාවෝට් යන ප්‍රාන්තවල සංචාරය කිරීමට නියමිත බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS