ස්වාසිලන්ත විපක්ෂ නායකයාට වස දීලා



ස්වාසිලන්ත (ඊස්වාතිනී) රාජ්‍යයේ, ප්‍රධාන විපක්ෂ නායක ලුන්ගීසි මකාන්යාට වස දී ඝාතනය කිරීමට උත්සාහ ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රෝගල්ගත කෙරුණු 46 හැවිරිදි ලුන්ගීසි මකාන්යාගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.

දේශපාලන අර්බුද සහ මරණ තර්ජන මැද ලුන්ගීසි මකාන්යා, ස්වාසිලන්තයෙන් පිටුවහල් වී, අසල්වැසි දකුණු අප්‍රිකාවේ ජීවත් වෙයි. ඒ වසර දෙකක කාලයක් තිස්සේය. ලුන්ගීසි මකාන්යාට මරණ තර්ජන එල්ල වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට උත්සාහ ගැනීම හේතුවෙනි. මකාන්යා නියෝජනය කරන්නේ ‘එක්සත් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ පක්ෂයයි.

ස්වාසිලන්ත (ඊස්වාතිනී) රාජාණ්ඩු පාලනයක් සහිත අප්‍රිකාවට අයත් කුඩා රාජ්‍යයකි. 1986 වසරේ සිට රට පාලනය කරන්නේ තෙවැනි ම්ස්වාති රජුය. ජනතාව දිළිඳුකමින් පීඩා විඳිද්දී, රජු රජ සැප විඳින බවට චෝදනා එල්ල වෙයි. ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කළ හඬ නැගූ සමාජ ක්‍රියාකාරීන් සහ මානව ක්‍රියාකාරීන් බොහෝ දෙනකුට මරණය අත්වුණු බව ද පැවැසෙයි.

මකාන්යා ද නිරන්තරයෙන් තෙවැනි ම්ස්වාති රජු විවේචනය කළ අයෙකි. ඔහු රටින් පිටුවහල් වී, අසල්වැසි දකුණු අප්‍රිකාවට ගොස් සිටියේ ද මෙම මරණ තර්ජන නිසාය. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS