වූහාන් යෑම මාධ්‍ය සංදර්ශනයක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරට යෑම සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ට චීන වැසියන්ගෙන් දොස් අහන්න සිදුවී ඇත. චීන වැසියන් චෝදනා කර ඇත්තේ චීන ජනපතිවරයාගේ වූහාන් සංචාරය මාධ්‍ය සංදර්ශනයක් බවටය.

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වී ලොව පුරා පැතිරීමට පටන් ගත්තේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. අද වනවිට චීනයේ වයිරස ආසාදිතයන් සහ මරණ අඩු වී ඇත.

‘කෝවිඞ් 19’ වයිරසය පැතිරීම ආරම්භ වීමෙන් පසු, චීන ජනාධිපති ජින්පින් වූහාන් නගරයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. චීන ජනාධිපතිවරයා වූහාන් පැමිණියේ පෙර දැනුම්දීමකින් තොරවය. පෙර දැනුම් නොදුන් නමුත්, චීන ජනපතිවරයාට පුළුල් මාධ්‍ය ආවරණයක් හිමිවිය.

මුහුණු ආවරණය පැලඳ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින් ජනාධිපති ජින්පින්, වූහාන් නුවර ප්‍රධාන රෝහල්වලට ගොස් කොරෝනා ආසාදිත රෝගීන් සහ පැය 24 පුරා වෙහෙස නොබලා ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හමුවී කතාබහ කළේය. ඊට අමතරව වූහාන් නගරයේ නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින පොලිසියේත් හමුදාවේත් නිලධාරීන් හමුවෙමින් සාකච්ඡා පැවැත්වූයේය.

චීන ජනාධිපතිවරයා වූහාන් යෑම ‘දේශපාලනික සංදර්ශනයක්’ යැයි වූහාන් වැසියන් චෝදනා කරයි. වූහාන් වැසියන් චීන ජනපති ජින්පින් සහ රජයට චෝදනා කරන්නේ වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට බලධාරීන් කඩිනමින් පියවර ගත්තේ නම්, වයිරසය පැතිරීම පාලනය කර ගැනීමට ඉඩ තිබුණු බව පෙන්වා දෙමිනි. ‘කෝවිඞ් 19’ වයිරසය නිසි ලෙස පාලනය කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් චීන ජනපති ජින්පින් ප්‍රමුඛ රජයට ජනතා අප්‍රසාදය එල්ල වී ඇත.

වූහාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS