වියානා අගනුවර වෙඩි තැබීම්



ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවිවලින් සන්නද්ධ පිරිසක් ඊයේ (2) රාත්‍රියේ, ඔස්ට්‍රියාවේ වියානා අගනුවර සිදු කළ වෙඩි තැබීම්වලින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

තුවාල ලැබූ ගණන 15 කි. රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ, තුවාලකරුවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවය. වෙඩි ප්‍රහාර එල්ල වූයේ, වියානා අගනුවර ස්ටෙටන්ගෙස් පළාතේ ස්ථාන හයකට බව පොලිසිය කියයි. වෙඩි තැබීම් සිදුවූයේ ඔස්ට්‍රියාවේ වේලාවෙන් රාත්‍රී 8 ට පමණය.

ඔස්ට්‍රියා චාන්සල්වරයා වන සෙබස්තියන් කර්ස් මාධ්‍ය හමුවේ කියා සිටියේ එය සිත්පිත් නැති කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් බවය. ත්‍රස්තවාදයට ඔස්ට්‍රියාවේ ඉඩක් නොමැති බවත්, ඔස්ට්‍රියානුවන් මෙවැනි බියගුලු ප්‍රහාරවලින් බිය නොවන බවත් චාන්සල්වරයා වැඩි දුරටත් කියා සිටියේය.

වෙඩි වැදී මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකි. ඊට අමතරව, පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එක් තුවක්කුකරුවකු ද මියගොස් ඇතැයි පැවැසෙයි. සෙසු තුවක්කුකරුවන් පලා ගොස් ඇති අතර,  ස්ටෙටන්ගෙස් පළාත පමණක් නොව, වියානා අගනුවර ද මුළුමනින්ම වසා දමා තුවක්කුකරුවන් සෙවීමට දැවැන්ත පොලිස් මෙහෙයුමක් ඇරැඹිණි.

වියානා අගනුවර වැසියන්ට නිවෙස්වලට වී සිටින ලෙසත්, පොදු ප්‍රවාහන සේවා භාවිතා නොකරන ලෙසත් රජය ඉල්ලීමක් කර ඇත. තුවක්කුකරුවන් සොයා මෙහෙයුම් සිදුවන බැවින් අද දිනයේ නගරයේ කාර්යාල සහ පාසල් සියල්ල වසා දැමුණු බව ද පැවැසෙයි. ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් බාර ගනු ලැබ නැත. වෙඩි ප්‍රහාර එල්ල කරන්න ඇත්තේ, ඔස්ට්‍රියාවේ වෙසෙන අන්තවාදී මුස්ලිම් තරුණයන් කණ්ඩායමක් යැයි සැක කෙරේ.

ඔස්ට්‍රියාව යුරෝපා රාජ්‍යයකි. සිදුවුණු වෙඩි ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු යුරෝපා රටවල නායකයන් කනස්සල්ල පළ කර ඇති බවත්, ඔවුන් හැමෝම ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

යුරෝපා රටවලට ඉස්ලාමීය අන්තවාදය තර්ජනයක් වී ඇත. පසුගිය දින කීපයේ ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදී තරුණයන් එල්ල කළ ප්‍රහාරවලිවන් ප්‍රංශ වැසියෝ ජීවිතක්ෂයට පත් වූහ. එක් අවස්ථාවක ප්‍රංශ ගුරුවරයකු ද ගෙල සිඳ මරා දැමුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයේ මුස්ලිම් වැසියන් මර්දනයට එරට ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පියවර ගෙන තිබේ. නව පනත් කෙටුම්පතක් ද ඒ සම්බන්ධයෙන් සකස් කර ඇත. කෙසේ නමුත් වියානා අගනුවර ප්‍රහාරය එල්ල වූයේ ඊට විරෝධයක් දැක්වීමක් ලෙස ද යන්න මෙතෙක් අනාරණය වී නැත.

වියානාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS