විදේශිකයන්ට රට අරින්න සූදානම්



‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් වසර දෙකකට වඩා වැඩි කාලයක් විදේශීය සංචාරයන්ට වසා දැමුණු නවසීලන්තය යළි සිය දේශසීමා විවෘත කිරීමට සූදානම් වෙයි.

ඒ අනුව, පළමුවෙන් ලබන අප්‍රේල් 13 වැනිදා සිට ඕස්ටේ්‍රලියානුවන්ට දොර ඇරීමට නවසීලන්ත රජය තීරණය කර ඇත. ඒ, ‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් කිසිදු නිරෝධායනයකින් තොරවය.

ඉන්පසු මැයි දෙවැනි දා සිට රටවල් 60 ක පූර්ණ එන්නත්කරණයට ලක් වුණු විදේශිකයන්ට නවසීලන්තයට පැමිණීමට අවස්ථාව උදා වනු ඇතැයි පැවැසෙයි. ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යය ද එම රටවල් අතරට අයත
පැමිණෙන සියලු සංචාරකයන් ‘කොවිඩ් 19’ ආසාදිතයන් නොවන බව තහවුරු කිරීමේ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙයි.

නවසීලන්තය විදේශිකයන්ට ඔවුන්ගේ දේශසීමා වසා දැමීම කළේ පසුගිය 2020 මාර්තු මාසයේය.
ඉන්පසු සංචාරක බුබුළු ක්‍රමය යටතේ ඕස්ටේ්‍රලියානුවන්ට පමණක් නවසීලන්තයට පැමිණීමට විටින් විට අවසර ලැබුණි. ඊට අමතරව, මේ වනවතුරු කිසිම නවසීලන්ත වැසියකුට එරටින් පිටවී යෑමට ද අවසර හිමි වී නොමැති බව පැවැසෙයි.

මේ අතර, ‘කොවිඩ් 19‘ වසංගතය ආරම්භයේ දී සාර්ථකව එය පාලනය කරගත් රාජ්‍ය නායකයකු ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුමට ලක් වුණු නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ප්‍රමුඛ එරට කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය පහළ යමින් පවතින බව වාර්තා වේ.

නවසීලන්ත මාධ්‍ය සිදු කළ ජනමත සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණය වී ඇත. කම්කරු පක්ෂය අභිබවා යමින් ජනතාව අතරේ ජනප්‍රිය වීමට විපක්ෂය වන මධ්‍ය දක්ෂිණාංශික මතධාරී ජාතික පක්ෂය සමත් වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2017 වසරෙන් පසු අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ප්‍රමුඛ කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය පහළ වැටුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

මේ වනවිට නවසීලන්තය දරුණු ලෙස ‘කොවිඩ් 19‘ වයිරසයෙන් බැටකමින් සිටී. දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන 20,000 ඉක්මවා ඇත. වයිරස ව්‍යාප්තිය පාලනයට අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ රජය ගත් ඇතැම් තීන්දු තීරණ ජනතා අප්‍රසාදයට පත් වීම, කම්කරු පක්ෂයේ ජනප්‍රියත්වය පහළ යෑමට හේතුව වී තිබේ.

එන්නත්කරණය අනිවාර්ය කිරීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් නවසීලනයේ ප්‍රධාන නගරවල විරෝධතා පැවැත්වෙන අතර ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS