විදේශිකයන්ට නොමිලේ ප්‍රතිකාර නෑ



සිංගප්පූරුවේ රජයේ රෝහල්වලට ඇතුළත් කරන ‘කෝවිඞ් 19’ ආසාදිත විදේශිකයන්ගෙන්, ප්‍රතිකාර සඳහා මුදල් අය කිරීමට සිංගප්පූරු රජය තීරණය කර තිබේ.

ප්‍රතිකාර සඳහා පමණක් නොව, වයිරසය ආසාදනය වී ඇතැයි සිදු කරන රුධිර පරීක්ෂණ සඳහා ද ඒ අනුව මුදල් අය කිරීමක් සිදුවෙයි. ‘කෝවිඞ් 19’ වයිරසයට ප්‍රතිකර්මයක් නොමැත. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ ඔසුවක් නිර්මාණය කිරීමට වසරක් පමණ ගත වනු ඇතැයි පැවැසෙයි.

වයිරසය ආසාදනය වී හටගන්නා නිව්මෝනියා තත්ත්වයට විවිධාකාරයේ ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. ආසාදිතයන් බොහෝ දෙනකුගේ ජීවිත බේරී ඇත්තේ මෙම ප්‍රතිකාර නිසාය. මුදල් අය කරන බව පැවැසෙන්නේ මෙම ප්‍රතිකාර සඳහාය.

විදේශිකයන්ගෙන් මුදල් අය කරන නමුත් සිංගප්පූරු වැසියන්ට සියලු ප්‍රතිකාර සහ පරීක්ෂණ නොමිලේ සිදු කර දෙන බව සිංගප්පූරු සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

සිංගප්පූරුවේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS