ලෝක නායකයන්ගෙන් නව අගමැතිට සුබ පැතුම්



බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු රිෂී සුනාක්ට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම් ලැබී ඇත. ඒ අතරින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කැපී පෙනෙයි.

රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකි. සුනාක්ගේ පියා සහ ඉන්දියාවේ සිට නැගෙනහිර අප්‍රිකාවේ පදිංචියට ගොස් පසුව බ්‍රිතාන්‍යයේ පදිංචියට ආ යුවලකි. සුනාක් උපන්නේ බ්‍රිතාන්‍යයේය.

සුනාක් විවාහ වී සිටින්නේ  බ්‍රිතාන්‍යයේ ‘ඉන්ෆෝසිස්’ තොරතුරු කාක්ෂණ සමාගමේ හිමිකරු බ්‍රිතාන්‍ය ඉන්දියානුවකු වන නාරායන මූර්තිගේ දියණිය අක්ෂාටා මූර්ති සමඟය. සුනාක් සහ අක්ෂාටා ට දියණියෝ දෙදෙනක් සිටිති. සුනාක්ගේ බිරිඳගේ වත්කම පවුම් මිලියන 479 කි. ඒ අනුව, ඇය තෙවැනි චාල්ස් රජුටත් වඩා පොහොසත්ය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ට සුබ පතමින් පවසා ඇත්තේ, ගෝලීය කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවය. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, රිෂී සුනාක්ට සුබ පතමින්, ධවල මන්දිරයේ හමුවක් සඳහා පැමිණෙන්නැයි ද ඇරැයුම් කළේය. ඉන්දිය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය දේශපාලනඥයකු එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව ද බයිඩන් පැවැසුවේය.

අග්‍රාමාත්‍ය සුනාක්ගේ රජය යටතේ ද යුක්රේනයට මහා බ්‍රිතාන්‍යයේ පූර්ණ සහාය හිමිවනු ඇතැයි හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සුනාක් වෙනුවෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට සහතිකයක් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS