ලොව ළාබාලතම අගමැතිනියට අපහාසයක්



ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට අපහාස කිරීමේ සිදුවීමක් මුල්කොට ගනිමින් එස්තෝනියා ජනාධිපතිනිය කර්ස්ති කලිජුලෙයිඞ්ට සමාව ඉල්ලීමට සිදුවිය.

එස්තෝනියාව ෆින්ලන්තයේ අසල්වැසියෙකි. එස්තෝනියාව සහ ෆින්ලන්තය පිහිටා ඇත්තේ යුරෝපයේය. ෆින්ලන්ත අගමැතිනියට අපහාස කළේ එස්තෝනියාවේ අභ්‍යන්තර කටයුතු ඇමැති 70 හැවිරිදි මාර්ට් හෙල්මේය.

මාර්ට් හෙල්මේ නායකත්වය දෙන්නේ එරට අන්ත දක්ෂිණාංශික ‘එක්රේ’ පක්ෂයටය. හෙල්මේ, එස්තෝනියා ගුවන් විදුලි නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අසල්වැසි රටවල දේශපාලනය ගැන අදහස් දැක්වීය. ඔහු ෆින්ලන්ත අගමැතිනියට අපහාස වන අයුරින් අදහස් දැක්වීමක් කළේ එම අවස්ථාවේදීය.
‘දැන් බලන්න, ෆින්ලන්තයේ අගමැති ධුරයට පත් වුණේ වෙළෙඳ සැලක කැෂියර් වුණු කෙල්ලක්. ඇයට දේශාපලනය ගැන දැනුමක් නැහැ. අත්දැකීම් නැහැ. ඒ වගේමයි පාරේ කෑ කෝ ගැසූ ක්‍රියාකාරීන් ඇතුළු නිසි අධ්‍යාපනයක් නොමැති බොහෝ දෙනකු අද ෆින්ගලන්ත කැබිනට්ටුවේ ඉන්නවා.’  යැයි මාර්ට් හෙල්මේ අදහස් දක්වමින් කියා සිටියේය.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට පෙරත්, දේශපාලනයට පිවිසීමට පෙරත් සන්නා මරීන්, වෙළෙඳ සැලක රැකියාව කර තිබේ. එස්තෝනියා අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා ෆින්ලන්ත අගමැතිනිය විවේචනය කළේ ඒ බව මතක් කර දෙමිනි.

මාර්ට් හෙල්මේ වෙනුවෙන් සමාව ඉල්ලමින්, එස්තෝනියා ජනාධිපතිනිය කර්ස්ති කලිජුලෙයිඞ් පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයකිනි. ‘ඇය දුප්පත් පවුලක දැරියක්. ඇය මහන්සිවෙලා ඉලෙන ගත්තා. ඇය අලෙවි වෙළෙඳ සැලක කවුන්ටරයේ වැඩ කළ බව ඇත්ත. දැන් ඇය අගමැතිවෙලා. ඇය ගැන මට ආඩම්බරයි. ෆින්ගන්තය ගැන මට හරිම ආඩම්බරයි’ යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.

34 හැවිරිදි සන්නා මරීන්, ෆින්ලන්තයේ අගමැති ධුරයට පත් වූයේ පසුගිය සතියේය. මරීන්, ලොව ළාබාලතම අගමැතිවරිය ද වන්නීය.  සන්නා මරීන් ෆින්ලන්තයේ මධ්‍ය වාමාංශික සන්ධාන රජයට නායකත්වය දෙයි. මරීන්ගේ සන්ධාන රජයට දේශපාලන පක්ෂ හතරක් හවුල් වී සිටින අතර, එම පක්ෂ හතරට නායකත්වය දෙන්නේ ද අවුරුදු 40 ට අඩු කාන්තාවන්ය.

හෙල්සින්කී නුවරදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS