ලූලා ද සිල්වාට සුබ පැතුම්



බ්‍රසීල ජනාධිපතිවරණයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වූ වාමාංශික කම්කරු පක්ෂ නායක 77 හැවිරිදි ලූලා ද සිල්වා ට කලාපීය නායකයන්ගෙන් පමණක් නොව ලෝක නායකයන්ගෙන් ද උණුසුම් සුබ පතුම් හිමිවිය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවැනි වටය ඊයේ (30)  පැවැත් වූයේ දෙවැනි ධුර කාලය අපේක්ෂා කළ ජනාධිපති ජාර් බොල්සරානෝ සහ ලූලා ද සිල්වා අතරේය. 67 හැවිරිදි බොල්සරානෝ අන්ත දක්ෂිණාංශික සමාජ ලිබරල් පක්ෂයේ නායකයා විය.

ලූලා ද සිල්වාට පළමුවෙන් සුබ පැතුවේ කලාපීය රටවල රාජ්‍ය නායකයන්ය. එම රාජ්‍ය නායකයන් අතර, ආජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස්, චිලී ජනාධිපති ගැබි්‍රයෙල් බොරික්, මෙක්සිකෝ ජනාධිපති මැනුවෙල් ලෝපේස්, කොලොම්බියානු ජනාධිපති ගුස්ටාව් පේට්‍රෝ, එකවදෝර් ජනාධිපති ගුලියේමෝර් ලාසෝ, බොලොවියානු ජනාධිපති ලුවිස් ඇල්බර්ටෝ, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සිටිති.
බ්‍රසීල ජනාධිපතිවරණය සර්ව සාධාරණ අන්දමින් පැවැත්වුණු බවත්, නව ජනාධිපති ලූලා ද සිල්වා සමඟ එක් ව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

ඊට අමතරව, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චේස්, යුරෝපීය සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ජෝසෙප් බොරෙල් ද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද ලූලා ද සිල්වාට සුබ පතා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS