රුසියාවෙන් තෙල් ආනයනය වරදක් නොවේ



යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවේ බලශක්ති අපනයනයට එරෙහිව දැඩි ලෙස සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් ආයනයන කිරීම එම සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව ධවල මන්දිරය පවසයි.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පැවැත්වුණු අතර, ඒ සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකී මාධ්‍ය හමුවක් පැවැත්වූවාය. ඉන්දියාව රුසියාවෙන් තෙල් ආයනයන කිරීම, ඇමෙරිකාව රුසියාවට පැනැවූ සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව පැහැදිලි කළේ එම අවස්ථාවේදීය.

ඇමෙරිකාවේ ආසියා කලාපීය මිතුරා ඉන්දියාව වන අතර යුක්රේන රුසියන් අර්බුදයේ දී ඉන්දියාව රුසියාවට විරුද්ධව තමන් සමඟ එක් වී යුක්රේනයට සහාය පළ කරාවි යැයි ඇමෙරිකාව බලාපොරොත්තු වෙයි. කෙසේ නමුත් ඉන්දියාව සහ රුසියාව අතරේ ද සමීප මිතුදම් පවතී. එහෙයින් අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ එකිනෙකා හමුවුණු අවස්ථාවේදී ජෝ බයිඩන් සහ මෝදි අතරේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වූයේ යුක්රේන අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සම්බන්ධයෙනි. ඊට අමතරව, කලාපීය අර්බුද සහ කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්යෙන් ද සාකච්ඡා පැවැත්විණි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS