රුසියන් ජනපතිගෙන් බයිඩන්ට සුබ පැතුම්



ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස, ජෝ බයිඩන් නිල වශයෙන් පිළිගැනීමත් සමඟ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බයිඩන්ට සුබ පැතුවේය‍.

රුසියන් ජනාධිපතිවරයා බයිඩන්ට සුබ පැතුවේ දුරකතන ඇමැතුමක් ලබා දෙමිනි. ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය.

නිල වශයෙන් ප්‍රතිඵල නිකුත් නොකළත්, ජයග්‍රහණය සඳහා ලබා ගත යුතු ඡන්ද ගණ (ඉලෙක්ට්‍රොරල්) ඡන්ද 270 සීමාව පසු කළ බැවින්, ඩිමොක්‍රටික් පාක්ෂික බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු බව පිළිගැනුනි. ඒ අනුව, සෑම රටකම පාහේ රාජ්‍ය නායකයෝ බයිඩන්ට සුබ පැතූහ.

රුසියන් ජනාධිපතිවරයා බයිඩන්ට සුබ පැතීම ප්‍රමාද කළේ යැයි පැවැසෙන්නේ නිල වශයෙන් බයිඩන්ගේ ජය තහවුරු නොවුණු බැවින් යැයි ද පැවැසෙයි. ට්‍රම්ප්ට පෙර ඔබාමා පරිපාලනය පැවැති සමයේ ජෝ බයිඩන්, ඇමෙරිකාවේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනැවීමටත්, ජී7 කණ්ඩායමෙන් රුසියාව ඉවත් කිරීමටත් කටයුතු කළේය. ඒ, පුටින් සිරියානු රජයට සහාය පළ කිරීමත්, යුක්රේනයේ ක්‍රිමියා පළාත බලහත්කාරයෙන් රුසියාවට අත්පත් කර ගැනීමත් හේතුවෙන්, ඊට විරෝධය පළ කරමිනි.

මේ වනවිට ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුව) සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ද ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පිළිගෙන ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය සතුවය.

සෙනෙට් කණ්ඩායමට නායකත්වය දෙන්නේ රිපබ්ලිකන් පක්ෂයේ මිච් මැක්කොනෙල් වන අතර ඔහු බයිඩන් ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස පිළිගන්නා බව පවසමින්, බයිඩන්ට සුබ පැතුවේය. මැක්කොනෙල්, ප්‍රබල ට්‍රම්ප් හිතවාදියෙකු බව පැවැසෙයි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර් 3 වැනිදාය. ජනාධිපතිවරණය ජය ගැනීමට නම්, ඇමෙරිකන් ඡන්ද ක්‍රමය අනුව, ඊට ඉදිරිපත් වුණු ට්‍රම්ප් සහ ජෝ බයිඩන්ට ඡන්ද ගණ (ඉලෙක්ට්‍රොරල්) ඡන්ද 270 සීමාව පසු කළ යුතුවිය. බයිඩන් ඡන්ද 300 කට වඩා හිමිකර ගත් අතර ට්‍රම්ප්ට හිමිවූයේ 232 ක් පමණි.

ට්‍රම්ප්, ඡන්ද ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ඡන්ද ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් අධිකරණයේ පිහිට පැතුවේය. ඒ අනුව, ඇමෙරිකන් මැතිවරණ කොමිසමට නිල වශයෙන් බයිඩන් ජයග්‍රාහකයා ලෙස නම් කළ නොහැකි විය. අධිකරණය අවසන් තීන්දුව ලබා දුන්නේ ට්‍රම්ප්ට අවාසි ලෙසය.

බයිඩන් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරී පත් වුණු බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය. සෙනෙට් කණ්ඩායමේ නායක මිච් මැක්කොනෙල්, බයිඩන් නව ජනාධිපති ලෙස පිළිගත්තේත්, ඔහුට සුබ පැතුවේත් ඒ අනුවය.

ඇමෙරිකන් පාර්ලිමේන්තුව (කොංග්‍රසය) සෙ‍ෙනට් මන්ත්‍රී මණ්ඩලයකින් සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සමන්විතය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට සෙ‍ෙනට් මණ්ඩලයේත්, නියෝජිත මණ්ඩලයේත් අනුමැතිය අවශ්‍ය වෙයි. සෙ‍ෙනට් මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය රිපබ්ලිකන්වරුන් සතුවන අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය ඇත්තේ ඩිමොක්‍රටික්වරුන් අතරේය.

කෙසේ නමුත්, ජනපති ට්‍රම්ප් තවමත් පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. බයිඩන් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 20 වැනිදාය. ට්‍රම්ප් දිගින් දිගටම බයිඩන් ප්‍රතික්ෂේප කරන්නේ නම්, 20 වැනිදා පැවැත්වෙන දිවුරුම්දීමේ උත්සවයට ට්‍රම්ප්ට ඇරැයුම් නොකෙරෙනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසා තිබේ.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS