රිය අනතුරකින් යුක්රේන ජනාධිපති තුවාල ලබයි



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබීය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින්, රිය පෙරහැරකින්, කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත.

එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාල සිදුවුණු බවත්, ඔහුට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සිදුවුණු බවත් පැවැසෙයි.
විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපති සෙලෙන්කී පරීක්ෂාවට ලක් කරමින්, ඔහුගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගී නිකිෆරෝව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ඇමෙරිකාව් නිව්යෝක් නුවර ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කිරීමට අවස්ථාවක් ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඉල්ලීමක් කර තිබේ.

යුක්රේන ජනාධිපතිවරයා කළ මෙම ඉල්ලීමට රුසියාව සහ රුසියාවට සහාය දක්වන සාමාජික රටවල් කීපයක් විරෝධය දක්වා ඇති නමුත්, විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ජගත් මහ සමුළුව ඇමැතීමට ජනාධිපති සෙලෙන්ස්කීට අවසර හිමිවනු ඇති බවය.

සෙලෙන්ස්කී කළ ඉල්ලීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති මෙසේ පවසා ඇත. ‘සෙලෙන්ස්කී බොහොම නිදහසේ ඔහුගේ රටේ එහෙ මෙහෙ යනවා. ඒත් ජගත් මහ සමුළුව අමතන්න ඔහුට එන්න බැහැ. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකු සමුළුවට සහභාගී නොවන්නේ නම්, ඒ වෙනුවට සහභාගී වන්නේ නියෝජිතයෙක්. සෙලෙස්කී කළ යුත්තේත් එයයි. පෙර පටිගත කළ වීඩියෝ පණිවුඩයකින් සමුළුව අමතන්න ඔහුට ඉඩ දෙන්න බැහැ.’ යුක්රේන ජනාධිපති සෙලෙන්කී, එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීමට සූදානම් වන්නේ එලැඹෙන සැප්තැම්බර් 21 වැනිදාය.

(රොයිටර්)

 


RECOMMEND POSTS