යුක්රේන අර්බුදය: මෝදි-පුටින් සාකච්ඡා
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. ඒ, යුක්රේන රුසියන් අර්බුදය සම්බන්ධයෙන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෝලන්තය හරහා යුක්රේනයට ගොස් කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. ඒ, රුසියන් යුක්රේන යුද්ධයට මැදිහත් වී, එය විසඳීමේ අරමුණින්ය. ඉන්දියාව, යුක්රේනය සමඟත්, රුසියාව සමඟත් යහපත් සබඳතා පවත්වන රාජ්‍යයකි.
යුද්ධයකින් කිසිවක් ජය ගැනීමට නොහැකි බව පෙන්වා දෙමින්, සටන් විරාමයකට යෑම සහ සාම වැඩපිළිවෙළකට යෑම සම්බන්ධයෙන් මෝදි, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා පැවැත්වීය. ඊට අමතරව, ඉන්දු යුක්රේන ද්වී පාර්ශ්වීය සබඳතා ද ශක්තිමත් කර ගැනුණි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට මෝදිට හැකිවේවි යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද විශ්වාසය පළ කර තිබේ. යුක්රේන සංචාරය නිම වී පැමිණි මෝදිට ඇමතුමක් දී ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ද පියවර ගත් බව වාර්තා විය.
පුටින් සමඟ කළ දුරකතන සංවාදයේ දී මෝදි පෙන්වා දී ඇත්තේ දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම අනුව, සටන් විරමයකට යමින් යුද්ධය අවසන් කිරීමට යොමු විය යුතු බව යැයි පැවැසෙයි. රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ඕනෑම සටන් විරාමයකට තමන් සූදානම් බව රුසියන් ජනාධිපති පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දී ඇත.
රුසියාවත්, යුක්රේනයත් අතරේ යුද ගැටුමක් පවතින්නේ, යුක්රේනය නේටෝ සාමාජකත්වය අපේක්ෂා කරන බැවිනි. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් එක් වී, රුසියාවට එරෙහිව පිහිටුවාගත් යුද සන්ධානයයි.
(එන්.ඩී.ටීවී.)