මෝදි විපක්ෂ දේශපාලන කණ්ඩායම් හමුවෙයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂ නායකයන් සහ ඉන්දීය විපක්ෂ දේශපාලන නායකයන් අතර හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙනි.
හටගත් දේශසීමා අර්බුදය කඩිනමින් සාමකාමීව සමතයකට පත් කර ගැනීම කළ යුතුයැයි විපක්ෂ නායකයෝ අගමැති මෝදිට පැවැසූහ. කෙසේ නමුත් චීනයට කිසිසේත් දෙවැනි විය යුතු නැති බව ඔවුහු පෙන්වා දුන්හ. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ භාරතීය ජනතා පක්ෂය ද එය අනුමත කළේ යැයි ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙයි.
පසුගිය 15 වැනිදා චීන සොල්දාදුවන් කළ පහරදීමෙන් ඉන්දීය සොල්දාදුවෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 76 කි. චීන සොල්දාදුවන් ඉන්දීය සොල්දාදුවන්ට පහර දී ඇත්තේ අතින් පයින් සහ යකඩ ඇණ සවි කරමින් සකසා ගත් මුගුරුවලිනි.
චීන ආත්මාරක්ෂක සටන් ශිල්පීන්ගෙන් සමන්විත කණ්ඩායමක් ද ගැටුම සිදුවුණු දා එනම් 15 වැනිදා ටිබෙටයේ ලාෂා නුවර හරහා දේශසීමාවේ පිහිටි චීන හමුදා කඳවුරට පැමිණි බව මේ වනවිට අනාවරණය වී ඇත. මෙම පිරිස ආත්මාරක්ෂක සටන් ශූරයන් බවත්, මිශ්‍ර සටන් ක්‍රම පුරුදු පුහුණු වූ පිරිසක් බවත් පැවැසෙයි.
චීන හමුදා සොල්දාදුවන් අතරේ සිටි මොවුන් ඉන්දීය සෙබළුන්ට පහර දී ඇත්තේ, ඉන්දීය සෙබළුන් චීන දේශසීමාව උල්ලංගනය කළේ යැයි චෝදනා නගමිනි.
පසුගිය ජූනි 15 වැනිදා දේශසීමාවේ ගුටිබැට හුවමාරුව සිදුවීමට දින කීපයකට පෙර චීන හමුදාවේ ගොඩනැගිලි රැසක් කඩිනමින් ඉදිකර ඇති බව ඉන්දීය රජය පවසයි. මේ බව චන්ද්‍රිකා දසුන්වලින් පැහැදිලිව පෙනෙයි. එම චන්ද්‍රිකා දසුන් ඉන්දීය මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.
නවදිල්ලියේදීය (රොයිටර්)