මෝදිගෙන් චීනයට අනතුරු
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සෙනසුරාදා (15) චීනයට අනතුරු ඇඟවීමක් කළේය.
දේශසීමාවේ ගැටුම් මුල් කරගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීනයට මෙම අනතුරු ඇඟවීම කළ අතර ශක්තිමත් හමුදාවක් ගොඩනගන බවට ද පොරොන්දුවක් දුන්නේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ වසරේ වැදගත්ම කතාව ලෙස සැලකෙන්නේ නිදහස් දින කතාව වන අතර එය යොදාගනිමින්, අගමැති මෝදි මෙලෙස චීනයට අනතුරු ඇඟවීය.
හිමාලයේ ඉන්දු-චීන දේශසීමාව මුල් කරගනිමින් පසුගිය කාලයේදී ඉන්දියාව සහ චීනය අතර ඇති වූ අර්බුදය මේ වනවිට තරමක් දුරට විසඳී තිබේ.
ඉන්දියාවේ ස්වෛරීත්වය, රටේ උත්තරීතරම කරුණ බවත් අසල්වැසියන් සමඟ සබඳතා රඳා පවතින්නේ ආරක්ෂාව සහ විශ්වාසය යන කරුණ මත බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිදහස් දින උත්සවය අමතමින් කීය.
නවදිල්ලියේ ඓතිහාසික රතු බළකොටුව, පරිශ්‍රයේදී නිදහස් දින උත්සවය පැවැති අතර නිදහස් දින උත්සවයට සහභාගී කරවාගෙන තිබුණේ 4,000කට ආසන්න පිරිසකි. සාමාන්‍යයෙන් මෙම උත්සවයට 8,000කට වැඩි පිරිසක් සහභාගී වේ. පැමිණි පිරිසට අසුන් පනවා තිබුණේ ද මීටර දෙකක් ඈතිනි. නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් එම ක්‍රියාමාර්ග ගෙන තිබිණි.
නරේන්ද්‍ර මෝදි යනු හින්දු ජාතිකවාදී නායකයෙකි. හෙතෙම පාකිස්තානය සහ චීනය සමඟ ඇති දේශසීමා අර්බුද සම්බන්ධයෙන් සිය කතාවේදී සඳහන් කළ නමුත් එම රටවල් දෙකේම නම් සඳහන් නොකළේය.
‘‘අපේ රටේ ස්වෛරීත්වය ගැන කවුරුහරි ඇහ ගහගෙන ඉන්නවා නම්, රටේ හමුදාව ඊට ඔවුන්ගේ භාෂාවෙන් පිළිතුරු දී තිබෙනවා’’ යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කීය.
‘‘ඉන්දියාවේ ස්වෛරීත්වය තමයි අපිට උත්තරීතම දේ වෙන්නේ. අපේ සොල්දාදුවන්ට කරන්න පුළුවන් මොකක් ද ? අපිට කරන්න පුළුවන් මොකක් ද කියලා හැමෝම ලඩාක්වලදී දැක්කා’’ යැයි හිමාලයේ ලඩාක් ප්‍රදේශයේදී චීන හමුදා සමඟ ඇති වූ ගැටුම සිහිපත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය. එම ගැටුම ඇතිවූයේ ජූනි 15 වැනිදා ය.
එම ගැටුමෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 20 දෙනෙක් මරණයට පත්වූහ. බැටන් පොලුවලින්, ගල්මුල්වලින් සහ අතින් පයින් දෙරටේ හමුදා සටන් වැදුණු බව වාර්තා විය.
එම ගැටුමෙන් සිය හමුදා සාමාජිකයන්ද තුවාල ලැබූ බව ද චීනය පසුව සඳහන් කළේය. එහෙත් කවුරුන් හෝ මියගියේද කොතරම් පිරිසක් තුවාල ලැබූවේද යන්න සම්බන්ධයෙන් චීනය කිසිවක් සඳහන් නොකළේය.
මේ කලාපයේ දේශසීමා අර්බුදය මුල් කරගනිමින් චීනය සහ ඉන්දියාව අතර 1962 වසරේදී යුද්ධයක් ද ඇති විය. එතැන් පටන් චීනය සහ ඉන්දියාව වරින් වර එකිනෙකාට චෝදනා එල්ල කරගන්නා අතර එම කලාපයට දස දහස් ගණන් හමුදා ද යවා ඇත.
එම ගැටුමෙන් ඉන්දියාවට කිසිදු භූමියක් අහිමි වූයේ නැතැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත. එහෙත් දශක ගණනක් මුළුල්ලේ ඉන්දියාව අයිතිවාසිකම් කියූ භූමියෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්දියාවට අහිමි වී ඇතැයි චන්ද්‍රිකා ඡායාරූප යොදාගනිමින් හමුදා විශේෂඥයෝ පෙන්වාදෙති.
ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව සිය ආර්ථික ආයුධ චීනයට එරෙහිව භාවිත කළේය. ඉන්දියාව චීනයේ සංවර්ධනය කෙරුණු ජංගම මෘදුකාංග (ඇප්ස්) 59ක් තහනම් කිරීමට පියවර ගත්තේය. ලොව බොහෝ දෙනකු අතර ජනප්‍රිය විඩියෝ බෙදාහදාගන්නා මෘදුකාංගයක් වන ‘ටික්ටොක්’ මෘදුකාංගය ද ඒ අතර විය. චීන ආනයන සීමා කිරීමට ද ඉන්දියාව පියවර ගත්තේය. ඒ වගේම කොන්ත්රාත්වලින් පිටස්තර චීන සමාගම්වල වත්කම් රාජසන්තක කිරීමට ද ඉන්දියාව පියවර ගෙන තිබිණි.
අසල්වැසියන් සමඟ සබඳතා ‘‘ආරක්ෂාව, ප්‍රගතිය සහ විශ්වාසය’’ යන කරුණු මත පදනම් වන බව ද අගමැති මෝදි කීය.
‘‘අසල්වැසියෙක් කියන්නේ අපේ භූගෝලීය පිහිටීම පමණක් බෙදාහදාගන්නා කෙනෙක් නෙමෙයි. අසල්වැසියන් කියන්නේ එකිනෙකාගේ හදවත් බෙදාහදාගන්න අයට. අසල්වැසියන් එකිනෙකාට ගෞරව කරනවා. එහෙම වුණාම අසල්වැසියන් අතර තිබෙන සබඳතා තව තවත් ශක්තිමත් වෙනවා. ඒ සබඳතා හෘදයාංගම’’ යැයි ද මෝදි කීවේය.
ඉන්දියාවේ හමුදාවේ සිටින සෙබළ සංඛ්‍යාව මිලියන 1.4ක් වන අතර එය තවදුරටත් ශක්තිමත් කරන්නේ යැයි ද මෝදි නිදහස් දින උත්සවය අමතමින් කීවේය.
‘‘ඉන්දියාව සෑම විටම ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටිනවා. ඉන්දියාවේ හමුදාව ගොඩනගා තිබෙන්නේ සාමය සහ සමගිය වෙනුවෙන්. ඒ නිසා අපි අපේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව ශක්තිමත් කරනවා’’ යැයි ද මෝදි එහිදි පැවැසීය.
ඉන්දියාව නව කොරෝනා වයිරස වසංගතයෙන් බේරාගැනීම සිය ප්‍රමුඛතාව යැයි ද මෝදි මෙහිදි කීවේය.
ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන මේ වනවිට 50,000කට ආසන්න වී තිබෙන අතර මේ සතියේදී වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන තුන ඉක්මවා යනු ඇත. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර ඉන්දියාව තුන්වැනි තැන පසුවෙයි.
නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ඉන්දියාවේ ආර්ථිකය කඩා වැටී ඇති අතර නිදහස් දින උත්සවය අමතමින් අගමැති මෝදි මැතිවරණයේදී දුන් පොරොන්දුවක් ද සිහිපත් කළේය. යටිතල පහසුකම් ව්‍යාපෘති 7,000ක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ට්රිලියාන 1.3ක මුදලක් වියදම් කරන්නේ යැයි මෝදි මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දුවක් දුන්නේය. වසංගත තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා එම පොරොන්දුව ඉක්මනින් ක්‍රියාත්මක කරන බව ද මෝදි කීවේය.
ඒ.එෆ්.පී.