මාස්ක් පලඳින්නැයි බලකරන්නේ නැහැ



ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් දිනෙන් දින ඉහළ ගියත්, සෞඛ්‍ය උපදෙස් අනුව, මුහුණු ආවරණ (මාස්ක්) පලඳින්නැයි තමන් ඇමෙරිකන් වැසියන්ට බලනොකරන බව ජනාධිපති ඩොනල්ජ් ට්‍රම්ප් පවසා තිබේ.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ෆොක්ස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ‘සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා වයිරසයෙන් ආරක්ෂා වෙන්න මාස්ක් පලඳින්න. ඒකට මා විරුද්ධ නැහැ. මා මාස්ක් පලඳිනවා. ඒත් ජනතාවට අනිවාර්යයෙන් මාස්ක් පලදින්නැයි බල කරන්න මට බැහැ. ජනතාවට නිදහස තිබෙනවා කැමැති තීරණයක් ගන්න.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

මාස්ක් පැලඳීම මේ වනවිට දේශපාලනීකරණයට ලක් වී ඇතැයි දේශපාලන විචාරකයන්ගේ අදහසය. ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම වසරේ නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙයි.

ජනපති ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ජනපති ධුරය වෙනුවෙන් ඉදිරිපත් වෙයි. ඒ, දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙනි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන්ය. බයිඩන් පවසා ඇත්තේ තමන් ජනපති ධුරයට පත්වුවහොත් මාස්ක් පැලදීම අනිවාර්ය කරන බවටය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS