බ්‍රිතාන්‍යය රුසියාවෙන් භාණ්ඩ ආනයනය නවත්වලා



මහා බ්‍රිතාන්‍ය පළමු වරට පසුගිය ජූනි මාසයේ රුසියාවෙන් ඉන්ධන ආනායනයක් සිදු නොකළ බව නිල සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ.

ඉන්ධන පමණක් නොව, රුසියාවෙන් භාණ්ඩ ආනයනය ද පසුගිය ජූනි මාසයේ පවුම් මිලියන 33 තෙක් පහත වැටී ඇතැයි නිල සංඛ්‍යාලේඛනවල දැක්වෙයි.

මහා බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර මෙසේ භාණ්ඩ ආනයනය අඩු වූයේ 1997 වසරේ ජනවාරියෙන් පසුව යැයි ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය පැහැදිලි කරයි.

මහා බි්‍රතාන්‍යය, රුසියාවෙන් ඉන්ධන ඇතුළු භාණ්ඩ ආනයනය නැවැත්වීමට හේතුව, රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන ඇති හමුදාමය ක්‍රියා මාර්ගයයි.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඉන්පසු හටගත් යුද්ධයට මේ වනවිට මාස 6 ක් ගත වී ඇත. යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමින් බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා තිබේ. එම රටවල් අතරේ මහා බ්‍රිතාන්‍යය ද වෙයි.

රුසියාවෙන් තෙල්, ගෑස් ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කරන යුරෝපා කලාපීය බටහිර රටක් වන්නේ මහා බ්‍රිතාන්‍යයයි. රුසියාවට අප්‍රසාදය පළ කරමින්, ඒ සියලු අපනයන මෙම වසර අවසන් වෙද්දී අවසන් කිරීමට බි්‍රතාන්‍යය තීරණය කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS