නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය ඉහළට



නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ යන බව සමීක්ෂණ වාර්තා වලින් අනාවරණය වී ඇත. නවසීලන්තයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන එක් වෙමින් මෙම සමීක්ෂණය සිදු කර ඇත්තේ ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත නවසීලන්ත මහ මැතිවරණය සම්බන්ධයෙනි.

නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය මෙසේ ඉහළ ගොස් ඇත්තේ ඇය ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව නිසි වෙලාවට නිසි තීන්දු තීරණ ගත් නිසාය.

නවසීලන්තයෙන් අවසන් වරට ‘කොවිඞ් 19’ ආසාදිතයකු වාර්තා වූයේ පසුගිය මැයි 22 වැනිදාය. අවසන් ‘කොවිඞ් 19’ ආසාදිත රෝගියා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. ඒ, මීට පැය 48 කට පෙරය. එතැන් සිට මේ දක්වා කිසිදු ආසාදිතයකු හමුවී නොමැති බව ද වාර්තා වේ.

ඒ අනුව, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් නිදහස් වූ පළමු රට ලෙස නවසීලන්තය සැලකෙයි. තව සතියක කාලයක් ආසාදිතයන් හමුවන්නේදැයි විමසිල්ලෙන් පසුවන බවත්, එසේ ආසාදිතයකු හමුනොවුණොත්, ලබන 15 වැනිදා ‘කොවිඞ් 19’ වයිරසය තුරන් කළ ලොව පළමු රට ලෙස නිල වශයෙන් නවසීලන්තය නම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබේ.

නවසීලන්තයෙන් වාර්තා වූ ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 1,154 කි. වයිරස ආසාදිතයන් හඳුනා ගැනීමට නවසීලන්තය සිදු කළ පර්යේෂණ ගණන 2,94,800 කි. වාර්තා වුණු මරණ ගණන 22 කි. නවසීලන්තයෙන් පළමු ‘කොවිඞ් 19’ ආසාදිතයා වාර්තා වූයේ පෙබරවාරි 28 වැනිදාය.

ඉදිරියේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනිය සූදානමින් පසුවන්නීය. මහ මැතිවරණය පැවැත්වෙන දිනය සැප්තැම්බර් 18 යැයි අගමැතිනිය ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණය පැවැත්වෙන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයන් 120 දෙනා තෝරා ගැනීම සඳහාය.

නවසීලන්තයේ මේ වනවිට පවතින්නේ සන්ධාන රජයකි. අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් නායකත්වය දෙන්නේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂයටය. කම්කරු පක්ෂය සන්ධානගතවී ඇත්තේ ‘නවසීලන්ත පළමු පක්ෂය’ සහ ‘නවසීලන්ත හරිත පක්ෂය සමඟය. නවසීලන්ත ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන්නේ ටොඞ් මිලර්ගේ නායකත්වයෙන් යුත් මධ්‍ය දක්ෂිණාංශික ‘ජාතික පක්ෂය’ යි.

වෙලින්ටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS