නත්තල් කැරොල් ප්‍රසංගයට විලියම්-කේට් එක්වෙති



ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගයකට මහ රැජින නියෝජනය කරමින් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ බිරිඳ කේට් ආදිපාදවරිය සහභාගී වූහ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මහ රැජින නත්තල් සැමරුම් කිසිවකට සහභාගී නොවනු ඇතැයි පැවැසෙයි.
කොවිඩ් වසංගතය හමුවේ මතු වූ අභියෝග ජය ගැනීමට නිහඩ සේවයක් කරන සෞඛ්‍ය අංශ සාමාජික සාමාජිකාවන් ඇගැයීමට ලක් කරමින්, වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය පැවැත්විණි.

ඊට සහභාගීවූවන් සමඟ සුහද පිළිසඳරක යෙදීමටත් රාජකීය යුවළ කටයුතු කළ බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව මෙවර නත්තල එකමුතුව සැමැරීමට පියවර ගත යුතු යැයි විලියම් කුමරු රැස්ව සිටි පිරිස අමතමින් පෙන්වා දුන්නේය. පසුගිය වසරේ 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍ය වැසියන්ට නත්තල අහිමි විය.

කැරොල් ප්‍රසංගයෙන් පසු විලියම් කේට් යුවළ ට්විටර් පණිවිඩයක් ද නිකුත් කළහ. අභියෝග මැද කාරුණික ක්‍රියා මගින් අන් අයට උපකාර කිරීමට ඉදිරිපත් වී සිටින සංවිධාන සහ නිහඬ වීරයන් සැමවිමට ගෞරවාදරයට පාත්‍ර වන බව එහි සඳහන් වෙයි.

මේවනවිට විලියම්, කේට් ඔවුන්ගේ දරු තිදෙනා පෙනී සිටි නත්තල් ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වුණු එම ඡායාරූපය බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත.

(රොයිටර්)

 


RECOMMEND POSTS