තෙරපීමෙන් 149 ක් මැරිලා



දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හැලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින්, එම සැමැරුමට එක් වුණු 149 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තෙරපීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 80 ක් බවත් ඔවුන්ගෙන් වැඩි දෙනකු බරපතල තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. එ් අනුව, මරණ තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට, එළිමහනේ පැවැතිමෙම හැලොවීන් සැමරුමට ලක්ෂයකට ආසන්න පිරිසක් එක්රොක් වී සිට ඇත. ඔවුන් සියලු දෙනා අවුරුදු 20 ට අඩු තරුණ තරුණියන්ය.

හැලොවීන් සැමරුම පැවැත්වූයේ සෝල් අගනුවර අයිටේවොන් පළාතේ පටු වීදියකය. සෝල් අගනුවර රාත්‍රී සමාජ ශාලා, අවන්හල් ආදිය බහුලව ඇත්තේ මෙම පළාතේය.

‘කොවිඩ් 19’ වසංගතය හේතුවෙන් පනවා තිබූ සෞඛ්‍ය නීතිරීති ලිහිල් කිරීමෙන් පසු, එළිමහනේ සංවිධානය කෙරුණු, මුහුණු ආවරණ අනිවාර්ය නොවූ, හැලොවීන් සැමරුම් උත්සවය මෙය විය.

සැමරුම් උත්සවයට සහභාගී වූ පිරිස අතරේ සිටි කීප දෙනකු සිහිසුන්ව ඇද වැටෙද්දී, නොසන්සුන්තාවක් සහ කබලයක් හටගත්තේය. තෙරපුමට හේතුව එයයි.

සිද්ධිය සැලවුණු සැණින් සෝල් අගනුවර ගිනි නිවන හමුදාව සහ සහන සේවා නිලධාරීහු වහා එහි ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යුහුසුළු වූහ.

මියගිය පිරිස අතර විදේශිකයන් දෙදෙනකු සිටින බවත් තවත් විදේශිකයන් 15 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් ගිනි නිවන භටයෝ පවසති.

සිද්ධිය ගැන කම්පා වෙමින්, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අණ කර ඇත්තේ, සිදුවුණේ කුමක්දැයි වහා සොයා බලා තමන්ට ඒ බව දන්වන ලෙසය.

තුවාල කරුවන්ට ප්‍රතිකාර ලබා දීමටත් අවශ්‍ය සහාය ලබා දීමටත් විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

හැලොවීන් සැමරුම අතරතුරේ සිදුවුණු තෙරපීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇතුළු ලෝක නායකයෝ රැසක් සොව පළ කළහ.

හැලොවීන් යනු මළවුන්, ශාන්තුවරුන් සිහි කරමින් පැවැත්වෙන සැමරුම් උත්සවයකි. සැමරුමට සහභාගී වන බොහෝ දෙනා හොල්මන්, අවතාර, පිසාචයන් ලෙස විකට ඇඳුමින් සැරසෙති.

බොහෝ රටවල් ඔක්තෝබර් 30 සහ 31 සන්ධ්‍යාව හැලොවීන් සැමරුම් ස‍ඳහා යොදා ගනී. හැලොවීන්බටහිර රටවල සැමරුම් උත්සවයක් වන අතර, කුඩා දරුවන්, තරුණ තරුණියන් අතරේ මෙය ප්‍රකටය. කෙසේ නමුත් අදවනවිට බටහිර නොවන රටවල ද හැලොවීන් උත්සව සංවිධානය කෙරේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS