තලේබාන් ත්‍රස්තයෝ 1,500 කට නිදහස



ඇෆ්ගන් රජයේ අත්අඩංගුවේ සිටින තලේබාන් ත්‍රස්ත සාමාජිකයන් 1,500 ක පිරිසක් නිදහස් කිරීමේ විශේෂ නියෝගයට ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී අත්සන් තැබුවේය.

තලේබාන් සිරකරුවන් නිදහස් කිරීමෙන් පසු, තලේබාන් සංවිධානයේ නායකයන් සමඟ සෘජු සාකච්ඡා ආරම්භ කිරීමට ද ජනාධිපති අෂ්රාෆ් ඝානී කටයුතු කළේය. වසර 18 කට පසු ඇෆ්ගන් රජය සහ එරට තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ වුණු පළමු අවස්ථාව මෙයයි.

එම තලේබාන් සාමාජිකයන් 1,500 දෙනාට නිදහස හිමිවූයේ යළි අවි අතට නොගන්නවා යැයි පොරොන්දු පත්‍රයකට අත්සන් කර ගැනීමෙන් පසුව යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. තලේබාන් සාමාජිකයන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගන් රජයට ඇමෙරිකාවෙන් ද බලපෑම් එල්ල විය.

ඇමෙරිකාව සහ තලේබාන් සංවිධානය සාම ගිවිසුමකට අත්සන් තබා ඇත. ඇෆ්ගන් රජයේ සිරකරුවන් නිදහස් කිරීම සිදුවූයේ ද එම සාම ගිවිසුමට අනුවය. සාම ගිවිසුමේ තවත් කොන්දේසියකට අනුව, ඉදිරි දින 10 ඇතුළත ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමට නියමිත යැයි ද පැවැසෙයි.

කාබුල්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS