ඩිමොක්රටික් පක්ෂ මහ සමුළුව ඇරැඹේ
ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ඩිමොක්රටික් පක්ෂ මහ සමුළුව අද (17) ආරම්භ වීමට නියමිතය. දින දෙකක් පුරාවට පැවැත්වෙන සමුළුවට ඩිමොක්රටික් පක්ෂ නියෝජිතයන් සහභාගී වනු ඇත්තේ වීඩියෝ පණිවුඩ හුවමාරු තාක්ෂණය ඔස්සේය.
ප්රධාන සමුළුව විස්කොන්සින් හි මිලැවෝකී නුවරදී පැවැත්වෙනු ඇති බවත්, කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය රැක ගනිමින් අතලොස්සක් ඊට සහභාගී වනු ඇති බවත් පැවැසෙයි.
සෙසු පිරිස වීඩියෝ තාක්ෂණයෙන් සම්බන්ධ කර ගන්නා බව සංවිධායකයන් පවසා තිබේ.වීඩියෝ තාක්ෂණය මගින් ඩිමොක්රටික් පක්ෂ ක්රියාකාරීන්, නියෝජිතවන් ඇතුළු 4,800 ක පිරිසක් මහ සමුළුවට සහභාගී වනු ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 3 වැනිදාය. ඩිමොක්රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් ජනපති ධුර අපේක්ෂකයා ලෙස ඊට ඉදිරිපත් වෙයි. බයිඩන් සිය සගයා සහ උප ජනාධිපතිවරයා ලෙස තෝරා ගෙන ඇත්තේ කමලා හැරිස් ය.
බයිඩන් ජනපති ධුරයට පත්වුවහොත්, උප ජනාධිපති ධුරයට කමලා හැරිස් පත්වනු ඇත්තේ, එම ධුරයට පත්වන පළමු කාන්තාව ඇය වෙමිනි. නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජෝ බයිඩන් සහ කමලා හැරිස් දෙදෙනාට, ඩිමොක්රටික් පක්ෂයේ අනුමැතිය නිල වශයෙන් හිමිවනු ඇත්තේ ද මෙම පක්ෂ මහ සමුළුවේදීය.
රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව පැවැත්වීමට දින වෙන් කර තිබුණ ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් එය කල් දැමීමට තීරණය කළේය. ඒ, කොරෝනා වසංගතය හේතුවෙනි. රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව ද ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිතය.
සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්රම්ප් නොවැම්බර් 3 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ඊට නිල වශයෙන් අනුමැතිය ලබා දීම සිදු කෙරෙන්නේ රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුවේදීය.
වොෂින්ටනයේදීය (රොයිටර්)