ට්‍රම්ප්-බයිඩන් හමුවෙති



ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරීපත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ධුරයෙන් සමු ගන්නා වත්මත් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

නව ජනාධිපතිවරයාට ඉඩ දී, ධුරය අවසන් කරන ජනාධිපතිවරයාගේ සමුගැනීම සනිටුහන් කිරීම, ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායයි. ඒ සම්බන්ධයෙන් ධවල මන්දිරයේ දී සාකච්ඡාවක් පැවැත්වෙයි. වත්මන් ජනාධිපති බයිඩන්, ජනාධිපති ධුරයට තේරී පත් වුණු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට ඇරැයුම් කළේ ඒ අනුවය.

මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පාක්ෂික ට්‍රම්ප් අතරේය. ට්‍රම්ප් සමඟ පැවැත්වුණු සජීවී රූපවාහිහිනී විවාදයේ දී 81 හැවිරිදි බයිඩන්ට ඔහුගේ වයස හරස් විය. වචන පැටැලී අසරණ වෙද්දී, ට්‍රම්ප් විවාදය ජයග්‍රහණය කළේය.

ඒ අනුව, ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස බයිඩන්, සිය දෙවැනියා මෙන්ම වත්මන් උප ජනාධිපතිනිය ද වන කමලා හැරිස් ජනාධිපති ධුර අපේක්ෂිකාව ලෙස නම් කළේය. අවසන් සටන ට්‍රම්ප් සහ හැරිස් අතරේ පැවැතියේ ඉන් අනතුරුවය.

මැතිවරණ රැලිවලදී එකිනෙකාට අපහාස කරගත්, චෝදනා කරගත් සහ පරිභව කරගත් ප්‍රතිවාදීන් වූ බයිඩන් සහ ට්‍රම්ප්, ධවල මන්දිරයේ දී එකිනෙකා හමුවූයේ සුහදව සිනාවෙමින් අතට අත දෙමිනි. ඇතැම් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එය කැමරාවට පෙනෙන ලෙස කළ බොරු රඟපෑමක් බවය. දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්වෙද්දී ද මාධ්‍යවේදීහු කණ්ඩායමක් ධවල මන්දිරයේ රැස්ව සිටියහ.

සාමකාමීව බලහුවමාරුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් බයිඩන් සහ ට්‍රම්ප් සාකච්ඡා කළ අතර, සාමකාමීව එම කටයුතු අවශ්‍ය පරිදි කර දෙන බව බයිඩන් ට්‍රම්ප්ට පැහැදිලි කළේය. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් බයිඩන්ට ස්තුති කළේය.
‘යළිත් වරක් ඔබ ධවල මන්දිරයට සාදරයෙන් පිළිගන්නවා’ යැයි බයිඩන් පවසද්දී,තමන් ද සාමකාමී බල හුවමාරුවක් අපේක්ෂා කරනවා යැයි ට්‍රම්ප්, බයිඩන් හමුවේ පෙන්වා දුන්නේය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ට්‍රම්ප් මීට පෙර ජනාධිපති ධුරය හෙබවූයේ 2016 ජනාධිපතිවරණය ජය ගනිමිනි. 2020 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් පරාජය විය. ඒ, බයිඩන් හමුවේය.ට්‍රම්ප්, යළිත් වරක් ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත්තේ, 2025 ජනවාරි 20 වැනිදාය.

1800 දශකයෙන් පසු, එක් ධුර කාලයක් අවසානයේ පරාජය වී, යළි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වී දෙවැනි ධුර කාලය සම්පූර්ණ කරන පළමු ජනාධිපති වන්නේ 78 හැවිරිදි ට්‍රම්ප්ය. අපරාධ චෝදනාවලට ලක් වී, අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවුණු, ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුණු පළමු තැනැත්තා වන්නේ ද ට්‍රම්ප්ය. ජනාධිපතිවරණයට පෙර, ඝාතන තැතකින් දිවි බේරා ගත් පළමු තැනැත්තා ද ට්‍රම්ප්ය.

ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශය හෙවත් සීක්‍රට් සර්විස් අනුව, ට්‍රම්ප් ඝාතනයට සැලසුම් තුනක් ක්‍රියාත්මක වූ නමුත්, ඒ සියල්ල අසාර්ථක විය. ඇමෙරිකන් ආරක්ෂක අංශවලට අතර, ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ෂියා මුස්ලිම් ඉරානයටය.

කරුණු කාරණා රැසක් සම්බන්ධයෙන් බයිඩන් සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡා විය. රුසියන් යුක්රේන යුද්ධය සහ මැදපෙරදිග අර්බුදය ඊට ප්‍රධාන වෙයි. තමන් ජනාධිපති වී පැය 24 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ප්‍රතිඥා දී ඇත. යුක්රේනය සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට අසාධාරණයක් නොකරන ලෙස කටයුතු කරන්නැයි බයිඩන් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

‘රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය ගැන අප සාකච්ඡා කළා.මට අවශ්‍ය වී තිබුණේ බයිඩන් ජනාධිපතිතුමාගේ ස්ථාවරය දැනගන්න. මට ඒ ගැන පැහැදිලි අවබෝධයක් ලැබුණා’ යැයි ධවල මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් පසු, ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කළේය.

බයිඩන්ගේ ධුර කාලය අවසන් වීමට පෙර මැදපෙරදිග අර්බුදය අවසන් කරන්නේ නැතිදැයි සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කර ගන්නේ නැතිදැයි ධවල මන්දිරයට රැස්වූ මාධ්‍යවේදීන් බයිඩන්ගෙන් ප්‍රශ්න කළ නමුත් බයිඩන් එම මාධ්‍යවේදීන් මඟහැර ගිය බව ද වාර්තා වේ.


RECOMMEND POSTS