ට්‍රම්ප් පරද්දන්න හොර ඡන්ද ඕනෑ නෑ
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රමුඛ රිපබ්ලිකන් පක්ෂය පරාජය කිරීමට හොර ඡන්ද දැමීමට අවශ්‍ය නොවන බව, ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් පවසයි.
ජෝ බයිඩන් මෙසේ පවතා ඇත්තේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි. එලැඹෙන නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට ජනාධිපතිවරණයේ දී, ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂයට තමන් ප්රමුඛ රිපබ්ලිකන් පක්ෂය පරාජය කළ හැක්කේ හොර ඡන්ද දැමීමෙන් පමණක් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවැසුවේ පෙරේදා (24) ය.
ඒ, උතුරු කැරොලිනා ජනපදයේ චාලට්විල් නුවර දී රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුවවේදීය. ‘මගේ ජය තහවුරුයි. ප්‍රතිවාදී ජෝ බයිඩන් සහ ඩිමොක්රටික් පක්ෂයට දිනන්න බැහැ. ඔවුන් දිනුවොත් දිනන්නේ හොර ඡන්දවලින් පමණයි’ යැයි ජනාධිපති ට්‍රම්ප් එම අවස්ථාවේදී කියා සිටියේය.
‘ට්‍රම්ප්ට දිනන්න බැහැ. ජනතාව ඔහු පිළිකුල් කරනවා. ට්‍රම්ප් පරදන්න හොර ඡන්ද ඕනෑ නැහැ. කොරෝනා නිසා ට්‍රම්ප් ජනතා අප්‍රසාදයට ලක් වෙලා. රටේ කොරෝනා වසංගතයක් නිර්මාණය වුණේ ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා නිසා. කොරෝනාවට බිලිවුණු ඇමෙරිකානුවන් 1,78,000 ක්. ආසාදිතයෝ මිලියන 6 ක්. මියගිය සෑම ඇමෙරිකානුයකුටම ට්‍රම්ප් වගකියන්න ඕනෑ. මා ජනාධිපති වුවහොත් ඒ වෙනුවෙන් ඔහුට දඬුවම් ලබා දෙනවා.’ යැයි බයිඩන්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් වෙයි.
චාලට්හිදීය (රොයිටර්)