ජගත් බැංකු පද්ධතියෙන් රුසියාව ඉවතට



රුසියාව, ජාත්‍යන්තර බැංකුකරණ හා පණිවුඩ පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව බටහිර රටවල් අවධාරණය කරයි.

රුසියානු බැංකු ජාත්‍යන්තර බැංකු පද්ධතියෙන් ඉවත් කිරීමට හැකි වන පරිදි රුසියාවට නව සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සෙනසුරාදා (26) පියවර ගත්තේ ය.

සම්බාධක පනවන බැංකු මොනවාදැයි බටහිර රටවල් ප්‍රකාශයට පත් නොකළ නමුත් මෙම සම්බාධකවලින් රුසියානු බැංකු වෙළෙඳපොළේ සියයට 70කට පමණ මෙම සම්බාධකවලින් බලපෑම් එල්ල වන යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු නිවේදනය කළේ ය.

“මේක මූල්‍ය න්‍යෂ්ටික අවියක්” යැයි මේ සම්බාධකවලට සිය පක්ෂපාතීත්වය දක්වමින් ප්‍රංශ මුදල් අමාත්‍යවරයා පැවැසීය.

“මේක මූල්‍ය න්‍යෂ්ටික අවියක්. මෙමඟින් රුසියානු ආර්ථිකයකට විශාල බලපෑමක් වෙනවා. රුසියාවේ වෙළෙඳාමට විශාල බලපෑමක් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ව්‍යාපාරවලට වෙළෙඳාම් හා ව්‍යාපාරික කටයුතු කිරීම දුෂ්කර වෙනවා” යැයි බෲනෝ ලා මෙයර් පැවැසීය.

ජාත්‍යන්තර බැංකුකරණ හා පණිවුඩ පද්ධතිය, ‘ලෝක ව්‍යාප්ත අන්තර් බැංකු මූල්‍ය විදුලි සංදේශ සමාජය’ (SWIFT-Society for Worldwide Interbank Financial Telecommunication) යන නිල නාමයෙන් හැඳින්වේ. ලොව පුරා බැංකුවලට රට රටවල් අතර ආරක්ෂිත පණිවුඩ කටයුතු කිරීම සඳහා මෙම පද්ධතිය හඳුන්වා දී තිබෙන අතර මෙය ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා ඉතා වැදගත් යාන්ත්‍රණයකි.

රුසියාව සතුව මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 630 ක ජාත්‍යන්තර සංචිතයක් තිබෙන අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට එය භාවිත කිරීමට නොහැකි වන අයුරින් මෙම සම්බාධක පනවා ඇත. බටහිර රටවල් පැනවූ සම්බාධකවලින් රුසියාවේ මුදල් ඒකකය වන රූබල් මුදල් එකකයට බලපෑමක් එල්ල වන එය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් භාවිත කිරීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම මෙම සම්බාධකවල තවත් එක් අරමුණක් වී තිබේ.

රුසියාවට එරෙහිව ආර්ථික වශයෙන් හානි කිරීමේ මෙම සම්බාධක පුළුල් අරමුණ වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS