චීන තානාපතිවරයාට දැඩි චෝදනාවක්



ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර රීති උල්ලංඝනය කර ඇතැයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කරයි.

මෙරට චීන තානාපති චී චෙන්හොන්ග් නිකුත් කළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම චෝදනාව එල්ල කර ඇත.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම චෝදනාව එල්ල කර තිබෙන අතර එලෙස මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර රීති උල්ලංඝනය කිරීම පෞද්ගලික ගති ලක්ෂණයක් හෝ සමස්ත ජාතික ආකල්පය හෝ විය හැකි යැයි ද ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ උතුරුකර අසල්වැසියා සම්බන්ධයෙන් ඔහුගේ ඇති දැක්ම ඇතැම් විට පැහැ ගැන්වී ඇත්තේ ඔහුගේ ම රට හැසිරෙන ආකාරයෙන් යැයි ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දියාව ඊට බෙහෙවින් වෙනස් බව චීන තානාපතිවරයාට සහතික වන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය ඔවුන්ගේ ට්විටර් පණිවුඩයෙන් දන්වා තිබේ.

විද්‍යා පර්යේෂණාත්මක යැයි කියමින් පැමිණි නැව සම්බන්ධයෙන් භූදේශපාලන අන්තර්ගතයක් ලබාදීමට චීන තානාපතිවරයා උත්සාහ කරන අතර එසේ කිරීමෙන් ඔහුගේ සැබෑ අරමුණු පැහැදිලි වන බව ද එහි දැක්වේ.

විනිවිදභාවයකින් තොර, ණය කේන්ද්‍ර කරගත් න්‍යාය පත අද වනවිට, විශේෂයෙන්ම කුඩා රාජ්‍යවලට ප්‍රධාන අභියෝගයක් වී ඇතැයි ද මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

මෑතකාලීන ප්‍රවර්ධන අනතුරු ඇඟවීමක් යැයි කියන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අද වනවිට අවශ්‍ය වී ඇත්තේ සහයෝගය බවත් ඔවුන්ට අනවශ්‍ය පීඩනයක් හෝ වෙනත් රටක න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අනවශ්‍ය මතභේද, ආරවුල් නොවන බවත් අවධාරණය කරයි.


RECOMMEND POSTS