චීන ජනාධිපතිට කේන්ති යයි



ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි.

2021 වසරේ ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ජින්පින් අතරේ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වුණු පළමු අවස්ථාව මෙය විය.

ජනාධිපතිවරු දෙදෙනා ඉතා විවෘතව, දෙරට අතර පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත් වූහ. ඇමෙරිකාව සහ චීනය අතර පවතින වෙළෙඳ අර්බුද ඒ අතර කැපී පෙනෙයි. කිසිම අවස්ථාවක චීනය සමඟ ගැටීමේ අදහසක් ඇමෙරිකාවට නැතැයි බයිඩන් චීන ජනාධිපතිවරයා හමුවේ අවධාරණය කළේය.

තායිවාන අර්බුදය ද ජනාධිපතිවරුන් දෙදෙනාගේ ප්‍රධාන එක් මාතෘකාවක් විය. එම අවස්ථාවේදී, තායිවාන අර්බුදයට අත පෙවීම සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ට සහ ඇමෙරිකන් රජයට සිය අප්‍රසාදය පළ කළේය.

තායිවාන අර්බුදය සම්බන්ධයෙන් දිගින් දිගටම අතපෙවීම් කරන්නේ නම්, එය චීනයේ රතු කට්ට ඉක්මවා යෑමක් වනු ඇතැයි ද ජනාධිපති ෂී ජින්පින් බයිඩන් හමුවේ පැවැසුවේය.

චීනය කටයුතු කරන්නේ චීනයට ආවේණික ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ බවත්, චීන තායිවාන අර්බුදයට ඇඟිලි ගැසීමෙන් වළකින ලෙසත් ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට අනතුරු ඇඟවීමක් ද කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS