ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට



ලිබියාවේ තෙල් සැපයුම නැවතීමත් නෝර්වේ රාජ්‍යයේ ඇති විය හැකි බාධාත් නිසා සිකුරාදා (2) දිනයේ දී ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ගණන් සියයට දෙකකින් ඉහළ ගියේ ය.

ගෝලීය ආර්ථිකය මන්දගාමී වනු ඇතැයි පුරෝකථන පළ වී තිබෙන අතර මේ නිසා ඉල්ලුමට බලපෑමක් වනු ඇතැයි පැවසේ.

බ්‍රෙන්ට් කෲඩ් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 2.60කින් එනම් සියයට 2.4කින් ඉහළ ගියේ ය. දිනය අවසානයේ දී එම වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 111.63ක් ලෙස දැක්විණි. වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 2.67කින් ඉහළ ගිය අතර බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 108.43ක් ලෙස දැක්විණි. එය සියයට 2.5ක වැඩි වීමකි.

ඇමෙරිකා එක්සත් ජනපදය ඉකුත් සතියේ දී එරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ දත්ත් ප්‍රසිද්ධියට පත් කළ අතර ඒ අනුව පසුගිය මාසයට සාපේක්ෂ කළ පරිදි අපේක්ෂිත ප්‍රගතියක් අත්පත් කරගැනීමට නොහැකි වී තිබිණි. මේ අනුව ජූනි මාසයේ දී නිෂ්පාදනය අඩු වුව ද ඉකුත් සිකුරාදා තෙල් මිල ගණන් නැවත වරක් ඉහළ ගියේ ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ෆෙඩරල් රිසර්ව් බැංකුව ඔවුන්ගේ මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට පියවර ගෙන තිබෙන අතර මේ නිසා ආර්ථිකය සිසිලනය වෙමින් තිබේ.

‌කෙසේ වුව ද අඩු බොරතෙල් සහ ඉන්ධන සැපයුම්වලින් තෙල් වෙළෙඳපොළට සහායක් දීමට හැකි ව තිබේ. බොරතෙල් සමඟ ප්‍රතිලෝම සම්බන්ධයෙන් තිබෙන ඩොලරයේ අගය ඉහළ ගොස් තිබේ. මේ අතරවාරයේ දී ඇමෙරිකාවේ කොටස්වල පහත වැටීමක් ද නිරීක්ෂණ ය විය.

(රොයිටර්)


RECOMMEND POSTS