ගිනි භටයෝ දෙදෙනක් මරුට



ඕස්ටේ‍්‍රලියාවේ මේ වනවිට ළැව් ගිනි 100 ක් පැතිර යමින් පවතින බවත් ඒවා නිවා දැමීම ගිනි නිවන භටයන්ට අභියෝගයක් වී ඇති බවත් වාර්තා වේ.

ළැව් ගිනි නිවා දැමීමට ස්වේච්ඡුාවෙන් ඉදිරිපත් වුණු ගිනි නිවන භටයන් දෙදෙනකු ළැව් ගිනිවලට බිලි වී ඇතැයි ද පැවැසෙයි. ජෙෆ්රි කීටන් (32) සහ ඇන්ඩෲ  ඕ ඩයිවර් (36) නමැති මොවුන් දෙදෙනා සිඞ්නි නුවරට නුදුරින් ළැව් ගිනි නිවීමට එක් වී සිටියදී, ඔවුන්ගේ ට‍්‍රක් රිය මතට ගිනි ගත් ගසක් කඩා වැටී ඇත. එයින් ගිනි භටයන් දෙදෙනා මියගිය බව පැවැසෙයි.  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ගිනි භටයන්ගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කර ඇත්තේ ඔවුන් දෙදෙනා වීරයන් බව පෙන්වා දෙමිනි.

ළැව් ගිනි හේතුවෙන් සිවිල් වැසියෝ අට දෙනකු ද ජීවිතක්ෂයට පත්වී ඇති බව  ඕස්ටේ‍්‍රලියා රජය නිවේදනය කර තිබේ. ළැව් ගිනි නිසා වැනසුණු නිවාස සංඛ්‍යාව 700 ට වැඩිය. හෙක්ටයාර් මිලියන ගණනක් විනාශ වී ඇති අතර සිදුවුණු පාඩුව අතිමහත්ය.
 ඕස්ටේ‍්‍රලියා ඉතිහාසයේ වැඩිම උණුසුමක් වාර්තා වූ දිනය ලෙස ඉකුත් 18 වැනිදා වාර්තා අතරට ද එක් විය.

මීට පෙර මේ අයුරින්  ඕස්ටේ‍්‍රලියාවේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්තේ 2003 දීය.

ධික උණුසුම හේතුවෙන්  ඕස්ටේ‍්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කෙරුණු බව  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා වාර්තා කරයි. නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 40.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. එය තවත් ඉහළ යෑමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.

(රොයිටර්ස්)


RECOMMEND POSTS