ග්වන්තනාමෝ කඳවුරේ අවසන් පාකිස්තානුවාට නිදහස



කියුබාවේ ග්වන්තනාමෝ බොක්කේ පිහිටි ඇමෙරිකාවට අයත් ‘ග්වන්තනාමෝ’ සිරකඳවුරේ වසර 20 ක් රඳවාගෙන සිටි අවසන් පාකිස්තාන ජාතිකයාට නිදහස හිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

නිදහස ලබා ඇත්තේ, සයිෆුල්ලා පරාෂා නමැති 75 හැවිරිදි පාකිස්තාන ජාතිකයාය. නිදහස ලැබීමෙන් පසු සයිෆුල්ලා පරාෂා පාකිස්තානයේ සිටින ඔහුගේ පවුලේ සාමාජිකයන් වෙත යැවූ බව ඇමෙරිකාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකන් ආරක්ෂක අංශ මොහු රඳවාගෙන සිටියේ අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැකකළ බැවිනි.

ඇමෙරිකන් ආරක්ෂක අංශ විසින් අල්ලා ගන්නා ත්‍රස්ත සැකකරුවන් කිසිදු නඩු විභාගයකින් තොරව, රඳවා තැබෙන්නේ ග්වන්තනාමෝ යනු සිර කඳවුරේය.ග්වන්තනාමෝ සිර කඳවුර වධකාගාරයක් යැයි ද පැවැසෙයි. මෙම කඳවුර ආරම්භ කෙරුණේ 2001 වසරේ ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවය. එම ප්‍රහාරය මෙහෙය වූයේ අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ය.

අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැක කළ මුස්ලිම් ජාතිකයන් බොහෝ දෙනකු මෙම සිරකඳවුරේ රඳවා තැබේ. ඔවුන් වැඩි දෙනකු නිදහස් කිරීමට නොහැකි බවත්, ඔවුන් දරුණු ගණයේ ත්‍රස්තවාදීන් බවත් ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS