කොරෝනා මතුවෙන්නේ දින 5 කින්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ඔබේ සිරුරට ආසාදනය වී ඇති නම්, එහි රෝග ලක්ෂණ මතුවීමට දින 5 ක් ගතවෙන බව බි‍්‍රතාන්‍ය වෛද්‍යවරු පවසති.

මේ බව චීන වෛද්‍යවරුන් ද සනාථ කර තිබේ. ‘කෝවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

උණ, කැස්ස සහ ස්වසන අපහසුතා පෙන්නුම් කරන ‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් මේ වනවිය 11,600 ක පිරිසක් රෝගී වී සිටිති. වයිරසය ලොව පුරා රටවල් රැසකට පැතිර ගොස් අවසන්ය.

වයිරසයේ ස්වභාවය හඳුනා ගනිමින් ඊට ප්‍රතිකර්මයක් සෙවීමට උත්සාහ ගන්නා ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් චීනයෙන් ලබා ගත් වයිරස සම්පල පරීක්ෂාවට ලක් කර ඇත. ඔවුන් ද පවසා ඇත්තේ ශරීරගත වීමෙන් පසු ‘කේවිඞ් 19’ වයිරසයේ රෝග ලක්ෂණ ඉස්මතු වීමට දින 5 ක කාලයක් ගතවන බවය.

ඇතැමුන්ට රෝගය ආසාදනය වී දින 12 ක් යනතුරු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන මෙවැනි පුද්ගලයන් හරහා වයිරසය පැතිරීමේ අවදානමක් පවතී. මෙම පුද්ගලයන් රෝග වාහකයන් ලෙස හැඳින්වෙයි.

ඒ අනුව, ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් උපදෙස් දී ඇත්තේ රෝග ලක්ෂණ පෙන්නුම් කළත් නැතත්, වයිරසය පැතිරෙන පළාතක ඔබ පදිංචිව සිටිනවා නම්, හැකිතාක් නිවෙස්වල රැඳී සිටින ලෙසය.

(රොයිටර්)


RECOMMEND POSTS