කොරෝනා එන්නත පියවරක් ඉදිරියට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ඇමෙරිකාව නිපදවන එන්නත සාර්ථක වෙමින් පවතින බවත්, එහි අවසන් අත්හදා බැලීම් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත බවත් එරට පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකානු බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රධානියා මෙන්ම වයිරස සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු ද වන වෛද්‍ය ෆවුචි ප්‍රමුඛ ඇමෙරිකන් වෛද්‍යවරුන් සහ ඇමෙරිකානු ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගමේ එකමුතුවෙන් මෙම එන්නත නිර්මාණය කෙරෙන බව පැවැසෙයි.

එන්නත නිපදවෙන්නේ වයිරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා සිරුරේ ප්‍රතිශක්තියක් නිර්මාණය කිරීමටය. අත්හදා බැලීම් යටතේ සිදු කළ පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ එන්නත එන්නත් කළ පුද්ගලයන් කීප දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය නොවුණු බවය.

මෙම එන්නත තවත් අත්හදා බැලීම් කීපයකට යොමු කෙරෙන බවත්, ඉන්පසු වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගනිමින්, ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් ලෙස එය එළිදැක්වීමට හැකිවනු ඇති බවත් වෛද්‍ය ඇන්තනී ෆවුචි පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS